Pages

Sunday, October 27, 2013

අනවසර බෝට්‍ටු සංක්‍රමණිකයෝ...

ඉතාලියට තියන ආර්ථික ප්‍රශ්න එක්ක මේ අවුරුද්ද පුරා තියන අනික් ප්‍රශ්නේ තමා මේ වසරේ ශ්‍රීස්ම සෘතුවත් එක්ක වැලට එන්න ගත්තු අනවසර බෝට්‍ටු, අප්‍රිකාවෙත්,මැද පෙරදිග කලාපේ රටවලත් තියන යුද්ධ මේකට පලවෙනි හේතුව.සිරියාව ගැන කියන්න දෙයක් නෑ නේ අමුතුවෙන්,,බෝට්‍ටු ගමන් අඩු වෙලා තිබිලා මේ වසර දෙකේ ආයෙත් හිසරදයක් වෙන්නම එන්න අරගෙන,බොහෝ අනවසර සංක්‍රමනිකයෝ ඉතාලියට එන්නේ යුරෝපෙට ඇතුල් වෙන දොර මේක නිසා,අනික අප්‍රිකානු මහද්වීපෙට ඉතාමත් ලග නිසා,ගොඩක් අය යුරෝපේ අනික් රටවලට ගියත් තවත් විශාල පිරිසක් ඉතාලියෙම නවතිනවා.
ඉතාලියට මුල්ම බෝට්‍ටු පැමිනෙන්න අරගෙන තියෙන්නේ 90 දශකයේ මුල්ම කාලේ තුර්කි යුද්ධයත් එක්ක,මද්යධරණි මුහුද හරහා ඉතාලියේ සිසිලි දූපතට හෝ සිසිලි දූපතට අයත් ලම්පෙදූශා දූපතට තමා මේ බෝට්‍ටු පැමිනෙන්නේ.ඒ අප්‍රිකාව හරහා එන අය..තවත් කොටසක් මුහුදු තරණය කලා ඒ කාලයක් ඉතා සශ්‍රීකව තිබුනු අද වැලේ වැල් නැතුව තියන නැගෙනහිර යුරෝපානු රටවල් වලින්,,90 දශකයේ මුල් කාලේ මේ රටවල් වලත් දරුනුවටම යුද්ද ඇවිලුනා,,තාමත් ඒ රටවල් විනාශෙන් ගොඩ ඇවිත් නෑ,මේ අය සිසිලි දූපතට නෙමේ ඉතාලියේ නැගෙනහිර තීරුවට  යුගෝස්ලෝවියාව හරහා,,අද්‍රියාතික මුහුද තරනය කිරීම,ඒත් 90 දශකයේ මුල් කාලෙම මේ ගමන නම් නවත්තලා දාගන්න ඉතාලියට පුලුවන් උනා,ඒත් මද්යධරනි මුහුදේ කරදර නම් නවත්තන්න පුලුවන් කමක් පේන්නෙම නෑ වගේ,

මේ දවස් වල මම ඉන්න නගරේ ගෘහස්ත ක්‍රීඩාගාරෙකත් මේ අප්‍රිකානු සරණාගතයෝ විශාල ප්‍රමානෙකට නවතින්න පහසුකම් හදලා දීලා තියනවා,,,මොනවා උනත් යුරෝපා රටවලින් මනුස්සකම ඉතා ඉහල තැනක තියන් ඉන්න ඉතාලි ජාතිකයෝ මේ මිනිස්සුන්ට පුලුවන් විදිහට සලකනවා,,ඒ අතර සිසිලිය ඉතාලියෙන් දුප්පත් කොටසක් උනාට,,මේ මිනිස්සුන්ගේ පුදුමාකාර මනුස්සකමක්,කරුණාවක් මේ වෙලාවේ තියනවා,පහු ගිය 3 වෙනිදා සෙනග 515 එක්ක ආපු බෝට්‍ටුවක් ලම්පෙදූසා දූපත ආසන්නයේ ගිලිලා ගියා,අවාසනාවට මේ අයගෙන් 170 විතර ප්‍රමානයක් තමා බේර ගන්න පුලුවන් උනේ,,,ඒකට ඉතාලි ජාතිකයෝ පලු යන්න බනින්න ගත්තේ රජයට මොකද මේ දූපතේ පදිංචි ඒ වෙලාවේ මූදේ උන්නු ධීවරයෝ මේ ගිලුනු මිනිස්සුන්ව බේර ගන්න උත්සහයක් දැරුවට ඉතාලියේ තියන නීතියක් මේකට හරස් උනා,ඒ තමා කිසිම අනවසර පුද්ගලයෙක්ව බෝට්‍ටු මගින් ගොඩබිමට ‍රැගෙන ඒමට තියන තහනම,,මේ ධීවරයෝ මොකද කලේ ඉක්මනින් ගොඩබිමට ඇවිල්ලා,,බලධාරින්ට දැනුම් දීලා අර ගිලෙන මිනිස්සු බේර ගන්න යෑම,,ඒත් ඒ වෙනකොට මිනිස්සු සෑහෙන ප්‍රමානයක් මිය ගොස් ඉවරයි,මිනිස්සු බනින්න ගත්තේ මේ තිබුනු නීතියට.කොහොම හරි නමක් නොමැති පුද්ගලයින් විශාල ප්‍රමානයක් සිසිලි බිමේ ඉතාමත් ඉහල ගරු බුහුමන් සමගින් මිහිදන් උනා,සමහර ඉතාලි ජාතිකයන් තමන්ට පවුලෙන් අයිති වුනු තමන්ගේ මිය ගිය නෑයන් මිහිදන් උනු ඉඩ
මේ නොදන්න කවදාවත් නොදැකපු අසරනයන් වෙනුවෙන් කැමැත්තෙන්ම අවසර දුන්නා ඒ මිනිස්සුන්ගේ සැතපීමට.

03 වෙනිද සිද්දියට අමතරව තවත් බෝට්‍ටු කීපයක්ම මේ වගේ අනතුරු සිදු වෙලා තවත් විශාල ප්‍රමානයක් මිනිස්සු මිය ගියා,ආසන්නම සිද්දියක් උනා මෝල්ටාව ආසන්න මූදු තීරයෙත්,
පුවත් පත් වල කියන විදිහට මේ මිනිස්සු එන්නෙත් සල්ලි වියදම් කරලා, හැබැයි ආයේ එයාලගේ රටවලට යන්න බලාගෙන නෙමේ,,,එක්කෙනෙක් ඩොලර් 3000 පමන වියදම් කරනවා කියලා පුවත් පත් වල මම දැක්කා,අනික එන්නෙත් පවුල් පිටින්,,පුංචි දරුවෝ පවා,,සමහර ගැබිණි කාන්තාවන්ට බෝට්‍ටුව තුළදිම දරු ප්‍රසූතියන් පවා සිදු වෙලා තියනවා.මුල් මුල් ආපු මේ මිනිස්සුන්ට දේශපාලන ‍රැකවරන දීලා යූරෝ 500 මුදලකුත් දීලා යුරෝපේ කැමති රටකට යමල්ලා කියලා ඉතාලිය ඉඩ දුන්නා,,,ඒත් මිනිස්සු ගියාට ගොඩක් අය ආයෙත් ඉතාලියටම ඇවිල්ලා,මොකද මේ අයව ඒ රටවලින් බාර අරගෙන නෑ,අද ඉතාලිය මේ ප්‍රශ්නේ නිසා යුරෝපා සංගමේ ඉස්සරහා නාහෙන් අඩන තත්වෙට වැටිලා.
ශ්‍රී ලංකාව සහ බෝට්‍ටු...
මට අපේ අය දාපු බෝට්‍ටු සෙල්ලම් ගැනත් මතක් උනා මේ 03 වෙනිදා කියපු සිදු වීම පුවත් වලට කියනකොට අපේ රටේ නමත් ඇහුනු නිසා, ඒ තමා මේ සිදු වීමටපෙර ඉතාලියේ වැඩිම පිරිසක් ගිලුනු බෝට්‍ටුව අපේ රටෙන් ගිය එකක් වීම,ලාංකිකයන්,ඉන්දියානුවෝ,පකිස්තානුවෝ එකතුවක් තමා වාර්ථාවේ තිබිලා තියෙන්නේ ඒ 260 පිරිසක්, සිදුවීම 90 දශකයේ අවසන් කාලයේ වෙලා තියෙන්නේ.
අපේ අයට බෝට්‍ටු ලෙඩේ බෝ වෙන්න අර ගත්තේ 96 වගේ කාලේ,,ඒත් මේ බෝට්‍ටු ගියේ අපේ රටේ ඉදලා නෙමේ,අපේ අය සංචාරක වීසා මගින් නැගෙනහිර යුරෝපා රට වලට ගිහින් ඒ හරහා නැත්නම්,ග්‍රීසියට හෝ  ඊජීප්තුවට ගිහින් එතන ඉදන් බෝට්‍ටු මගින්,මේ බෝට්‍ටු වැඩේට පුරුදු උනේ ඊට පෙර තිබුනු දේශ සීමා පැනීම සම්පූර්නයෙන්ම නැවතුනු නිසා,ඒකට හේතුව ඒ ක්‍රමේ ඉතාලියත් අවට යුරෝපා රටවල් අතරත් ප්‍රසිද්ධ වීම,ඒත් හිමීට බෝට්‍ටු ක්‍රමේට යන්න අපේ අය පාර හදා ගත්තා.
හා හා පුරා කියලා නමෝ විත්තියෙන් වෙන්නප්පු මූදු තීරෙන් ට්‍රෝලරයක් පිටත් උනේ 97 වගේ,,ඒ ඉතාලියට නෙමේ ඕස්ට්‍රේලියාවට,ගමන් දෙක තුනකට වඩා යන්න බැරි උනා,එහෙ තියන නීති එක්ක මේ ගමන ඒ කාලේ නැවතුනා.
90 දශකයේ මුල් කාලේ බෝඩර් පැනීම හබක් වීමත් එක්ක අපේ අයත් මුලින්ම පුරුදු උනේ අද්‍රියාතික මුහුද හරහා බෝට්ටු දැමීම.ඒකට අපේ අය යොදා ගත්තේ සංචාරක හෝ අධයාපනික වීසා මගින් රුසියාවට හෝ නැගෙනහිර යුරෝපා රට වලට ගුවන් මගින් ගමන් කිරීම එතන ඉදන් යුගෝස්ලෝවියානු රටවලට ගිහින් අද්‍රියාතික මුහුද හරහා පොඩි බෝට්ටු මගින් ඉතාලියට ලගා වීම,,,ඒ පුංචි කන්ඩායම් වශයෙන්,මේක සම්පූර්න මෙහෙයවීම කලේ රුසියානුවෝ හෝ යූක්‍රේන ජාතිකයෝ.මේ බෝට්ටු වලට වගේම බෝඩර් පැනීමත් රුසියාවේ ඉදන් මෙහෙයවපු අපූරු චරිතයක් උන්නා,ඒ රුසියාවට වැඩි දුර ඉගෙනුමට ගිය සිසුවෙක්,ලංකාවේ මේ ගමන් සංවිධානය කරපු අයට මේ සිසුවව නැතුවම බැරි උනා,,අවසානෙදි තනිකර රුසියාව හෝ නැගෙනහිරි යුරෝපා රටවල් මෙහෙයවීම කලේ දයාල් නම් උනු එවකට මේ සිසුවා.දයාල් රුසියාවෙම පදිංචි උනා පස්සේ.මුලින් අද්‍රියාතික මුහුදේ මෙහෙයුම් අඩපන උනාම,ඊලගට පටන් ගත්තේ අර වගේම ග්‍රීසියට බෝඩර් පැනලා ගිහින් එතන ඉදන් බෝට්ටු මගින්,පස්සේ ඒකත් නැවතුනු ගමන් කලේ ඊජිප්තුවට ගෙනියලා සූවස් ඇළ හරහා බෝට්ටු මධයදරණි මුහුද හරහා ඉතාලියට ඇතුල් වීම.
ඇත්තටම ලංකාවේ මිනිස්සු ඉතාලි යවන්න වංචා කලාටවත්,මිනිස්සුන්ව අතරමග රටවල අතරමං කලා කියලවත්  කිසිම කෙනෙක් අදටත් මේ දයාල්ට බනින්නේ නෑ,දයාල් ලගට ගිය කෙනෙක් දයාල්ගේ හොද කියනවා මිසක් බනිනවා මම අහලා නෑ.ඉතා සූක්ශම මොළයක් පාවිච්චි කරලා මේ දේවල් කරන්නත් ලොකු ශක්තියක් තියෙන්න ඕනා.
මේ 97 වසර මේ වෙනකොට අර ගමන් හබක් වෙලා ඉවරයි.අපේ අයට දැන් අලුත් ක්‍රමයක් හොයා ගන්න වෙලා,අනික පොඩි පොඩි කණ්ඩායම් පිටත් කිරීම ප්‍රායෝගික වශයෙන් ඉතා අපහසු වෙලා තිබුනා.මම ඉස්සල්ලා කිවුවා නේ ඒ වෙනකොට ඕස්ට්‍රේලියාවට පටෝලා බැලුවා කියලා,,ඒ ගමන් පැත්තක දාලා මීගමු ධීවර වරායෙන් ඔන්න පටන් ගත්තා ඉතාලියට ට්‍රෝලර් පිටින් සෙනග පැටවීම,කොහොමත් 50 ආසන්න ප්‍රමානයක් පටවගෙන තමා ගමන ආරම්භ කලේ, අපේ රටෙන් පිටත් උනු ට්‍රෝලර් ආරක්ශාකාරිව ගොඩ බහින්න හේතුව තමා ඕනවට වඩා සෙනග පටෝගෙන නොයාම.නොගිලුනාම නෙමේ ඒත් ගොඩක් අඩුයි.
ඔන්න ඔය පලවෙනි බෝට්ටුවෙන් අපේ ගමේ කෙනෙකුත් ගියා,,එයා ගියේ අවට සේරම අයට කියලා ලොකු බෑග් එකකුත් අරගෙන,ගිහාම තමා දැනගෙන තියෙන්නේ බෝට්ටුවකින් යන්නේ කියලා,පස්සේ එයා හැරිලා එන්නත් හදලා,,ඒත්. ණයට අරන් සල්ලි ගෙවලා තියෙන්නේ,,,ඉතින් අර බෑග් එකත් විසි කරලා බෝට්ටුවට නැගලා තිබුනා,පස්සේ එයාගේ තාත්තා පන්සල්,පල්ලි ගානේ ගියා ඒ අයියා ගැන කිසිම ආරංචියක් නැතුව,,කොහොම හරි මාස 3 පස්සේ එයාගෙන් කෝල් එකක් ඇවිත් තිබුනා ඉතාලියට බැස්සා කියලා.පස්සේ එයා කියපු හැටියට ගොඩක් අමාරුවෙන් බෝට්ටුව මග කැඩි කැඩී ඒක හදා ගෙන තමා ගිහින් තියෙන්නේ,,,ඉස්සරහට කිලෝමීටර 5ක් ගියොත් බෝට්ටුව ආයේ ආපස්සට කිලෝ මීටර 8ක් විතර ගහගෙන යනවලු.කොහොම හරි ලංකාවෙන්ම පිටත් උනු සූවස් ඇළ හරහා ගිහින් ඉතාලියට ගිය මංගල බෝට්ටුව ඔහොම ගොඩ බහිනවා,මේ වැඩේටත් අර දයාල් අතර මැද ඉන්නවා ඒ තමා සූවස් ඇළ හරහා බෝට්ටුව පැන්නවීම.
මේ ගමන භයානක නිසා වැඩි පුර බෝට්ටු පිටත් වීමක් සිදු උනේ නෑ, ඒත් නොගියමත් නෙමේ,,හිමින් හිමින් තමා මේ කාලේ මේ වැඩේ උනේ.
ඔහොම කාලේ ගෙවිලා 99 අවුරුද්ද බෝට්ටු වල ස්වර්ණමය යුගය පටන් ගන්නවා,මීගමුව ඉදන් හලාවතට යනකන් මූදු තීරය ඉතාලියට පිටත් වෙන යූරෝ මූදු තීරුව බවට පත් වෙනවා,ලක්ශ 3 හමාරකට තමා මේ ගමනට උපරිම මිල ගියෙත්(අමතක කරන්න එපා 2002 යූරෝ එකක මිල උනේ උපරිම රු.80),බෝට්ටු ගාමිණී,සුසන්ත,බෝට්ටු රංජි ඔය කියන නම් ඉතාලියට සෙනග පටවන බෝට්ටු සංවිධායකයෝ විදිහට වෙන්නප්පුව පළාතේ ප්‍රසිද්ධ වෙනවා,දයාල් අයියා එහෙම ඒ වෙනකොටත් අර සූවස් ඇළ මෙහෙයුමේ ඉන්නවා,,එයා නැතුව යන්න ඉතාලි ගමනට මේ තරම් සාර්ථක වීමක් නෑ,අනික එයා තමන්ගේ ගම් වල මිනිස්සුන්ව නොමිලේ පවා ඉතාලියට යැව්වාඑයත් වෙන්නප්පුව ප්‍රදේශයෙම කෙනෙක් තමා.2000,2002 කියන්නේ මාසෙකට බෝට්ටු 2ක්,3ක් පිටත් උනු මාසත් තිබුනා,අදටත් අර මම කියපු බෝට්ටු සංචාරකයෝ ලොකු සල්ලිකාරයෝ,මේ කාලේ සිදු කරපු මේ ගමන් නිසා.බෝට්ටුවක ගිය ප්‍රමානය 50 දාලා ගාන හිතලා බලන්නකෝ.
මේ දේවල් ඔය මීගමු,හලාවත කලාපේ අතර වෙනකොට අපේ දකුනේ අයත් චූන් වෙනවා,එහෙනුත් බෝට්ටු කීපයක්ම පිටත් කරන්න එහෙ අයට පුලුවන් උනා,හැබැයි වෙන්නප්පුවෙ අයගේ සහයෙන්,වෙන්නපුවේ අයත් එහෙ ගිහින් මේ බෝට්ටු වලට නැග්ගා,,ඒත් ලොකු අනතුරක් එක්ක එහෙ ගමන් නැවතුනා,ඒ කිරින්ද ධීවර වරායෙන් පිටත් උනු ට්‍රෝලරයක් ගොඩ බිමින් පිටත් වෙලා සුළු වෙලාවකින්ම සෙනග වැඩි වෙලා මූදු බත් වීම,ඒ සිදු වීමෙන් 15 විතර කොල්ලෝ මිය ගියා,ඔය සිදුවීමෙන් රටේම ප්‍රසිද්ධ උනා මේ බෝට්ටු ගමන් ගැන.
තව දෙයක් මේ ගමන් වලට ඉහල සහයෝගය උපරිමයෙන්ම තිබුනා,පක්ශ විපක්ශ නැතුව,ඒ සහයෝග වලට එයාලගේ ගෝල බාලයන්ව පැටෙව්වේ අඩු ගානට,විපක්ශෙ අය මචෝ මගේ කොල්ලෝ මෙච්චරක් ඉන්නවා උන්ව දාපන් කියලා පක්ශෙ කෙනාට කියනවා,ඒ එක්කම මේ බෝට්ටු වලින් ගියේ සිංහල අය විතරක් නෙමේ,,,සිංහල,දෙමල,ඉන්දියානු,පකිස්තානු,බංගලිදේශ් සේරම සහයෝගෙන් ගියේ,2002 අලියා කට්ටියට බලේට ආපු ගමන්, වෙන්නප්පුවෙන් පාර්ලිමේන්තු ගිය අලියෙක්  දකුනේ කෙනෙක් එක්ක සෙට් වෙලා ඉන්දියාවෙන් භාවිතයේ ඉවත් කරපු නැවක් අරන් පලවෙනි පාරට ට්‍රෝලරයක් නෙමේ නැවක් පටෝනවා 400 ගානක් එක්ක,පක්ශෙ විපක්ශෙ ගහ ගත්තු ගෝල බාලයෝ එකට මේ නැවේ නැග්ගා,යාත්‍රාවක් අඩි 60 වඩා වැඩි උනාම නැවක් බවට පත් වෙනවා කියලා මම අහලා තියෙන්නේ,මේක 400 ගානක් පටවන්න කුඩා ප්‍රාමානයේ නැවක්,ඔය නැව ඉතාලියේ ගොඩ බහින්න ඉස්සල්ලම ඉතාලි නාවික හමුදාවට තොරතුරු ගිහින් තිබුනලු සූවස් ඇලෙන් පනිද්දිම,,ඉතින් ඕක මගින්ම ඉතාලි නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා,ලංකාවෙ නමත් ඉතාලියේ චාටර් උනා ඉතාලි ආන්ඩුවෙන් ලංකාවට දැනුම් දුන්නා වහාම මේ බෝට්ටු ගමන් නවත්වන්න කියලා,අපේ සැටලයිට් මැඩම් කර බාගත්තේ නෑ,,එන උන් සේරමන්වම ආයේ එවන්න කියලා ඉතාලි රජයට කිවුවා,,,ඒකෙන් උනේ එලියට දාන්න කදවුරු වල උන්නු අයවත් එක්ක ඒ කාලේ අහු උනු සෙට් එකක්ම ඉතාලියෙන් පිටුවහල් කලා සැටලයිට් මැඩම්ගේ කීමට.ඔය සිදුවීම් එක්ක ලංකාවෙන් බෝට්ටු ගමන් ආයෙත් නවතිනවා.
බෝට්ටු සහ අතුරු රැකියා.
මම ඉස්සල්ලා කියපු බෝට්ටු සංවිධායකයෝ අර අතර මග සහයෝගය දෙන අයට අමතරව මේකෙන් සල්ලි හම්බ කරන තව පිරිසක් උන්නා,මුලින්ම ලීසිං ගෙවා ගන්න අමාරු හෝ අබලන් වේගෙන ආපු ට්‍රෝලර් මේ ගමනට විකුනලා දාපු අය,ට්‍රෝලරේ ඇතුලේ ශීතකරන ගලවලා තමා මේ ගමනට යොදන්නේ,,ඒකෙන් තමා මිනිස්සුන්ට ඉඩ හදා ගන්නේ,අනික් විශේසම කෙනා තමා ට්‍රෝලරේ පදවන කෙනා,,එයාට කිවුවේ ස්කීපර,ස්කීපරට ලංකාවෙන්ම ඒ වෙලාවේ ලක්ශ 5,8 අතර ගානක් ගෙවන්න ඕනා,,එයාට කැමති නම් ඉතාලියෙන් නවතින්න පුලුවන්,සමහර අලුත් ට්‍රෝලර නැවත ලංකාවට හරෝගෙන ආපු ස්කීපරලත් ඉදලා තියනවා,එතකොට පඩිය ඩබල් වෙනවලු.ගොඩක්ම පරන ඒවා නම් ඉතාලි නාවික හමුදාවට අහු උනේ නැත්නම් ගොඩබිම කිට්ටු කරලා සෙනග බස්සවලා ට්‍රෝලරේ ගිල්ලවන එක තමා ගමනේ අවසානය වෙලා තියෙන්නේ.තව රැකියාවක් තමා බෝට්ටු සංවිධායකයන්ට ඉතාලි යන්න සෙනග හොයලා දීපු අය,එයාලට කොමිශන්,නැත්නම් 5ක් හොයලා දුන්නොත් එයාට නොමිලේ ඉතාලි යන්න පුලුවන්.තව රැකියාවක් තමා ගොඩක් අය මේ ගමනට පිටත් උනේ බාගයක් සල්ලි ගෙවලා,ඉතුරු බාගේ ඉතාලියට බැස්සම,සමහර අය බැස්සට එයාලගේ ගෙවල් වලින් අර ගොල්ලන්ට ඉතුරු සල්ලි දෙන්නේ නෑ,ඉතින් මේ ඉතුරු සල්ලි අරන් දෙන චන්ඩි සෙට් එකකුත් බිහි උනා,ලක්ශයක් දෙන්න තියනවා නම්,සංවිධායකට 80 ඉතුරු 20 චන්ඩියට.
තව ඉතින් ට්‍රෝලරේට කෑම සැපයීම් වගේ උවමනා දේවල් සැපයීමේ වෙලෙන්දන්.
මම මේ බෝට්ටු ගමන් වලට විරෝධයක් නෑ,ඒත් ඉතාලියෙදී ඒ කාලේ අහු උනු බොහෝ අය කරපු කැත වැඩක් තමා අපේ රටේ නම කැත කරන්න,තමන්ගේ නිදහසට ඉතාලියට බොරු කට උත්තර දීලා දේශපාලන රැක වරන ඉල්ලීම,සිංහල,දෙමළ දෙගොල්ලොම එක බෝට්ටුවේ ගිහින් කලේ රටේ නම විනාශ කරපු එක,ඒත් එක අතකින් මේ බෝට්ටු නිසා ගොඩක් අයට පුලුවන් උනා සල්ලි හොයාගෙන සල්ලි කාරයෝ වෙලා ලස්සනට ජීවත් වෙන්න.
ඉතාලියට ගියත් ඕස්ට්‍රේලියාවට ගියත් කොහෙ ගියත් මම මේ අනවසර ගමන් වලට විරෝධයක් නෑ,පුලුවන් නම් යමල්ලා කියන අදහසේ මම ඉන්නේ,ඒත් අද මම නම් බෝට්ටු ගමන අනුමත කරන්නේ නෑ,ගොඩක් අය කියන්නේ අපේ රටේ අය ඉතාලියෙ නම කැත කරනවා කියලා,ඒ මේ කරන දේවල් ඉක්මනින්ම ලංකාවේ මාධ්ය වලට මෙහෙ ඉන්න අයම යවන නිසා,ඔය එංගලන්තේ,ජර්මනියේ,ඕස්ට්‍රේලියාවේ,කැනඩාවේ හිර ගෙවල් වල අපේ අය නෑද,කවදාවත් ගුටි බෑට හුවමාරු ගිහින් නෑද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න,ලංකාවේ අයගේ මනුස්සකම නම් ගොඩක් දුරට අඩු වෙලා කියන එක ඇත්ත,ඒත් ඕනම සමාජෙක මම දකින්නේ කොටස් 3ක් ඉන්නවා,හිත හොද කරුනාවන්ත අය,නරක හිත් තියන මිනිස් කමක් අදුනන්නේ නැති අය,,මේ දෙකටම අතර මැද ඉන්න අය,මේ අය දුප්පත් පොහොසත්,උගත් නූගත් කියලා නෑ,සමහරවිට ඉතාලියේ ඉන්න නූගතා ලග තියන මනුස්සකම අහලකටවත් ලන් වෙන්න බැරි ඕස්ට්‍රේලියාවේ ඉන්න උගත්තු ඉන්න පුලුවන්.ඉතාලියට බෝට්ටුවෙන් ගිය නූගතා ලග තියන කරුනාව ලගට ඇමරිකාවට ග්‍රීන් කාඩ් එකෙන් ගිය උගතට ලං වෙන්නවත් බැරි අවස්තා තියෙන්න පුලුවන්.ඒත් සියල්ලන්ගේම අරමුන එකයි ලස්සන අනාගතයක්,ඒක නිසා බෝට්ටුවෙන් හෝ නොයෙක් අනවසර ක්‍රම වලින් බටහිර රටවලට අලුතෙන් යන මිනිස්සුන්ව පහත් කරන්න එපා.
මා දැකපු,මේ මාරාන්තික ගමනින් ඉතාලියට ආපු අයගෙන් අහපු සත්ය කතා මම මේ පෝස්ට් එකේ ලිවුවේ,සමහර විට මම නොදන්න දේ තව ගොඩක් තියෙන්න පුලුවන්. මගේ මතකයේ තිබෙන ගොඩක් දේ මම ලිවුවා,එහෙනම් බෝට්ටු කතාව ඉවරයි,හිතුනොත් මම දන්න බෝඩර් පැනීමේ කතාවත් ලියන්නම්.

(සැ.යු.නැවතුනු බෝට්ටු ගමන් ඕස්ට්‍රේලියාවට පටන් ගත්තත් එක්කම,මේ වසරේ ලංකාවෙන් බෝට්ටු කීපයක් ඉතාලියට ඇවිත් ඒ ආපු අය මේ වෙනකොට ඉතාලි රැදවුම් භාරයේ පසු වෙනවා,ඒත් පවතින තත්වය අනූව ඒ අයට මම හිතන්නේ නෑ සහනයක් ලැබේවි කියලා,ලංකාවට දැනට දේශපාලන රැකවරන ලබා නොදෙන පිලිවෙතක් යුරෝපා සංගමේ තියෙන්නේ,මේ බෝට්ටු පිටත් වෙලා තියෙන්නේ දකුණු මූදෙන්,ඇත්තටම එහෙ දේශපාලන හයිය මේවට නෑ කියන්න බෑ,ඔයාලා දන්න කෙනෙක් බෝට්ටු ගමනට එක් වෙන්න හදනවා නම් කරුණු පැහැදිලි කරලා දීලා ඒ ගමන නවත්වන්න,ඉතාලිය මේ වෙනකොට ඉතා තද නීති පද්ධතියක් හදාගෙන යන්නේ මේ බෝට්ටු සංක්‍රමනයට එරෙහිව)
 

Thursday, August 1, 2013

පාප්තුමා ශ්‍රී ලංකාවට ?

මේ දිනවල පුවත් මගින්,කට කතා මගින් ලාංකික ක‍තෝලිකයන් අතර යන පුවතක් තමා ප්‍රැන්සිස් පාප්තුමා ජනවාරි ලංකාවට එනවලු නේද කියන එක,මේ පුවත ස්ථීර නැතත් බොහෝ දුරට මේක ඇත්ත වීමේ සම්භාවිතාවය වැඩී.
ප්‍රැන්සිස් පාප්තුමාගේ පලමු විදෙස් සංචාරය පහු ගියගිය දවස් වල නිම උනා,ඒ බ්‍රසීලයේ පැවැත් උනු ලෝක තරුණ සමළුවට සහභාගි  වීමට ගිය ගමන,ඒ ගමන නිම වෙලා නැවතත් රෝමයට එන අතරතුර ගුවන් යානයේ සිටින මාධයවේදීන් සමග සිදුකරපු මාධ්ය හමුවෙදි තමා පාප්තුමාගේ ඊලග විදෙස් සංචාරය ආසියාවට කියන කතාව එලියට ආවේ,,,ඒ ගමන බොහෝ දුරට එතුමාගේ ජෙරුසලම් සංචාරය අතරට එකතු වෙන ඉඩ කඩ වැඩි කියන දේ,ඉතාලි පුවත් අඩවි වලින් දැක්කා,ඒ පුවත් අඩවි වලින් කියන විදිහට පාප්තුමා යන්න හිතන් ඉන්නේ ශ්‍රීලංකාවට හා පිලිප්පීනයට.
ප්‍රැන්සිස් පාප්තුමා අපේ මේ පුංචි දූපතට ආවොත්,,,අපේ බිමට පා තබන 3 පාප්තුමා බවට පත් වේවි,1977 දී සංචාරයක් අතරතුර ලංකාවට පැමිනි පලමු පාප්තුමා බවට පත් උනා 6 පාවුලු පාප්තුමා,නමුත් එතුමා ක‍ටුනායක ගුවන් තො‍ටුපලේම ‍රැදී ඉදලා පිට වෙලා ගිහින් තියනවා,1995 ජනවාරි 2 ජුවාම් පාවුලු පාප්තුමා දිනක සංචාරයක් සදහා ලංකාවට ආවා,,ගාලු මුවදොර පිටියේ දිව්ය පූජාවකුත් සිදු කලා,ක‍ටුනායක ඉදන් කොළබට ගියේ අර වෙඩි නොවදින  වීදුරු වලින් සාදපු රථයෙන්,,කොළබට යනකන්ම පාර දෙපස විශාල ජනකායක් ‍රැදී උන්නා එතුමාව පිළිගන්න,ඒ අවස්ථාවෙත් නොයෙක් නොයෙක් විරෝධතා තිබුනා එතුමාගේ පැමිනීමට විරුද්ධව,භික්ශුවක් ගාළු මුව දොර පිටියේ ගිණි තියා ගන්න සූදානමින් උන්නා,,ඒත් ඒ අවස්ථාවේ විශේසම සිදු වීමක් උනා,අපේ රටේ තියන ආගමික සහයෝගිතාව ලෝකෙට පෙන්නුවා. උත්සවයේ සැරසිලි කටයුතු දේශීය කලා නිර්මානවලින් හැඩ කරලා සැරසිලි අංශයේ මූලිකත්වය අරගෙන කටයුතු කරපු පූජ්ය මාපලගම විපුලසාර හාමුදුරුවෝ.ඇත්තටම එදා ඉතාමත් ලස්සන උත්සවයක් පැවැත් උනා. චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාධිපති තුමිය ප්‍රමුඛ රජයත් විශාල සහයෝගයක් දුන්නා පාප් තුමාගේ ලංකා සංචාරයට.
2014 ජනවාරිත් අපිට ආගම් බේදයක් නැතුව ලස්සන උත්සවයක් දැක ගන්න හම්බ වේවි.මේ වනවිටත් ලංකාවෙන් ප්‍රැන්සිස් පාප්තුමාට ලංකාවට පැමිනෙන්න කියලා ආරාධනාවක් යවලා තිබෙනවා,එතුමා ඒක පිලි අරගෙනත් තිබෙනවා,ඒ 16 බෙනඩික් පාප්තුමා ලංකාවට ලබා දුන් මීගමුවේ බෝලවලානේ වැඩ නිමවෙමින් පවතින අන්තර්ජාතික දේවධර්ම  මධයස්ථානය විවෘත කිරීමේ උත්සවය සදහා.එය වතිකානුවෙන් ආසියාවට ලබාදුන් තිළිනයක්.
පාප්තුමාගේ ශ්‍රිලංකා ගමන ස්ථීර වේවා කියන පැතුමත් සමග අපි ලැස්ති වෙමු එතුමා පිළිගන්න,මේක ලංකවාට ලැබෙන ලොකු අවස්ථාවක් වේවි.

Monday, July 29, 2013

පාපැදි ශූරයෝ


පහු ගිය දවස් වල ලෝකේ ප්‍රධාන බයිසිකල් සවාරි පැවැත් උනා,,මේ අතරින් ප්‍රංශ සවාරිය,ඉතාලි සවාරිය රූපවාහිණිය හරහා බලන්න හම්බුනා,බයිසිකල් තරග කියන්නේ මම ආසම ක්‍රීඩාවක්,ලෝකේ බයිසිකල් ධාවක ශූරයෝ කියන්නේ ඉහල ධනවතුන්,බයිසිකලේ දුප්පතාගේ කියන දේ අද වෙද්දි නෑද කොහෙද?
මම ලංකාවේ බයිසිකල් රේස් එකක් බැලුවේ 93 ලංකා සවාරිය,,ඒක අපේ ටවුම හරහා ගියා,,එතකොට මම පොඩි එකා,,පොඩි මතකයක් තියෙන්නේ,මාමලා එක්ක ගියා මාව රේස් එක බලන්න,,මොකද එයාලටත් ඔය බයිසිකල් රේස් ලෙඩේ තිබුනා,,ස්ටැන්ඩර්ඩ් වර්ගයේ රේස් පදින මට්ටමට තිබුනු බයිසිකලුත් තියාගෙන උන්නේ එයාලා,කොහොම හරි ඔය රේස් එකේ අපේ අවට කීප දෙනෙක්ම පැද්දා එයාලා ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ,අපේ ප්‍රදේශයෙන් අදටත් ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ බිහි වෙනවා බයිසිකල් අංශෙන්,මට මතක විදිහට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරපු වසන්ත කුමාර ඔය රේස් එකේ ඉදිරි ස්ථානයක් ගත්තා එයත් වෙන්නප්පුව ආසනේ කෙනෙක්,,ඒ අතරම දංකො‍ටුව පෝසිලේන් නියෝජනය කරපු යාපා එහෙම ඔය රේස් එකෙ කැපී පෙනුනා,
මේ රේස් එකේ කැපී පෙනුන කීප දෙනෙක්ට කාලෙකට පස්සේ ජාත්යන්තර තරගයක් නියෝජනය කරන්න හම්බුනා,,ඒ 94 ජපානේ හිරෝශිමා ආසියා ක්‍රීඩා උලෙළ,,මේ කාලෙකින් ලංකාව ජාත්යන්තර බයිසිකල් ධාවන තරග නියෝජනයක්,60 රෝම ඔලිම්පික් උලෙල නියෝජනය කරලා තියනවා මොරිස් කුමාරවේල් කියලා කෙනෙක්, 89 කමල් පාලිත ඉන්දියාවේ පැවැත් උනු ආසියානු බයිසිකල් තරගයක් නියෝජනය කරලා 07 ස්තානය අරගෙන තියනවා,කමල් පාලිතත් 90 දශකයේ මුල් බාගයේ උන්නු දක්ශ ක්‍රීඩකයෙක්.
94 රේස් එකෙන් ලංකාවට කීර්තියක් නම් නෙමේ ආවේ,ලංකාවෙන් පොදු රාජ්ය මන්ඩලීය පැදපු බොනිපස් පෙරේරා තමා 94 හිරෝශිමා ගිය කණ්ඩායමේ පුහුණුකරු,බොනී පනී කියලා පත්තරවල වැ‍ටුනා,බොනිත් එක්ක ක්‍රීඩකයෝ 3නා ජපානෙන් පැන්නා,මට මතක නෑ අනික් නම්, බොනිත් එක්ක පොලිසියේ වසන්ත කුමාරත් උන්නා,,වසන්ත කුමාර 93 මම බලපු ලංකා සවාරියේ දිනලා තමා මේ තරගෙට චාන්ස් එක ගත්තේ,මේක ලොකුවට ලංකාවට කළු පැල්ලමක් වැ‍ටුනා,,කාලයක් යනකන් ලංකාවේ ක්‍රීඩකයන්ට ජපානෙට වීසා නොදෙන තත්වයක් ඇති කලා මේ සිදුවීම.
ඊලගට අපේ බයිසිකල් ධාවකයෝ 3ක් පැන්නා ඉතාලියෙදි ලෝක හමුදා ක්‍රීඩා උලෙල නියෝජනය කරපු ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයෝ,ඒ 2003.
දවසක් මට මේ 3න් එක්කෙනෙක් එක්ක කතා කරන්න හම්බුනා,ඒ කෙනා තමා 2003 ලංකාවේ බයිසිකල් ධාවකයෝ අතර ඉහලම ලකුනු ගනනක් අරන් උන්නේ,එයා මට කියපු කතාව තමා මේ,මල්ලි පෙඩරේශන් එකෙන් අපිට තියෙන්නේ කැපිලි විතරයි,අපි කොච්චර හොදට රේස් පැද්දත් එයාලට ඕනා අයව විතරයි පිටරට රේස් වලට යවන්නේ,මාව ඒ වෙලාවේ හලන්න බැරි උනා,,මගෙයි ඒ වෙලේ වැඩිම පොයින්ට්ස්,මම ලංකාවෙන්මයි හිතන් ආවේ ආයේ නම් එන්නේ නෑ කියලා ලංකාවට,මට ඒ තරම්ම එපා වෙලා තිබුනේ මේ මිනිස්සුන්ගේ කැත වැඩ,හොද ක්‍රීඩකයෙක් එද්දි ඒ කෙනාව ඉස්සරහට ගැනිල්ලක් නෙමේ පෙඩරේශන් එකෙන් කරන්නේ,,පුලුවන් තරම් ඒ කෙනාව වට්ටන එක.
2004 ගුවන් හමුදා සිරස පාපැදි සවාරිය,,ලංකාවේ බයිසිකල් ධාවන තරග  අලුත් පැත්තකට ගත්තා,,වටින තෑගි,මුදල් තෑගි එහෙම දෙන්න ගත්තේ මේ රේස් එකෙන්.රේස් එක අවසන් දවස ගියේ දංකො‍ටුව හරහා,දංකො‍ටුව පුරා සෙනග පිරෙන්න හේතුවක් උනේ,අපේ අල්ලපු ගමේ ක්‍රීඩකයෝ 03ක් රේස් එක පැදපු එක,,මේ ක්‍රීඩකයන් 03 එක්කෙනෙක්  ඒ වෙනකොට ජීවත් උනේ ඉතාලියේ,,ඒ වගේම ඉතාලියේ පොඩි බයිසිකල් ක්‍රීඩා සමාජයක් නියෝජනය කලා,මෙයා පඩියට රේස් පැදපු එක කලේ ඉතාලියෙදි,කොහොම හරි තවත් ගමේ කොල්ලො 2ක් එක්ක තරගයට ගියා ගුවන් සවාරියට.
දංකො‍ටුව හරහා යනකොට මේ 03 එක්කෙනෙක් ඉදිරියෙන් ධාවනය කලා,ඒ කෙනා 04 ස්ථානයට තරගය නිම කලා,අවස්ථාවක් හම්බුනා ගුවන් හමුදාව නියෝජනය කරන්න,ඉතාලියෙන් ගිය කෙනා නම් මගදි අනතුරක් වෙලා තරගය නිම කලේ නෑ,,ඉහල වටිනාකමින් යුක්ත රේසින්ග් බයිසිකල් කීපයක් ලංකාවට ගෙනියලා මේ ඉතාලියේ උන්නු ක්‍රීඩකයා අපේ පැත්තේ ක්‍රීඩකයෝ කීපයක් බිහි කලා,,
රුවන් ඒ අතරින් කෙනෙක්,රුවන්ගේ කාලේ පටන් ගත්තේ ලංකාවේ යුද්දේ ඉවර වෙලා එය සමරන්න පවත්වපු ජනාධිපති පාපැදි තරගය,,ඒ වෙද්දි රුවන් ගමේ ගොඩේ පොඩි පොඩි රේස් පැදලා පොඩි නමක් හදන් උන්නේ, ජනාධිපති තරගය ජයග්‍රහනය කරලා ලොකු තෑගි හම්බුනා,,මට මතක විදිහට ත්‍රීවීල් එකකුත් හම්බුනා,ලොකු මුදල් තෑග්ගකුත් හම්බුනා,රුවන්ට නාවික හමුදාව නියෝජනය කරන්න හම්බුනා මේ රේස් එක නිසා,2012 වෙනකන් රුවන් නාවික හමුදාවේ දක්ශ ක්‍රීඩකයෙක්,රුවන්ගේ ඒ දක්ශතාත් එක්ක අවාසනාවත සිදුවීමක් උනා ඒ රුවන්ගේ ජීවිත ගමන හදිසියේ නිම වීම,එක් අවස්ථාවකදි දකුනු ආසියානු රටකදි රුවන්ට තහනම් උත්තේජක වරදක් වැටිලා රුවන්ට ජාත්යන්තර තරග තහනමක් වැ‍ටුනා,රුවන් මියගියේ මේ තහනම් උත්තේජන අධිකව භාවිතා කරලා කියලා කට කතාවක් ගියා,ඒත් ඩෙංගු නිසා කියලත් ප්‍රචාරක් ගියා,රුවන්ගේ වකුගඩු වලට අධික හානියක් වෙල තිබුනු කියලත් කට කතාවක් ගියා,අවාසනාවට ලංකාවෙන් බිහි උනු දක්ශයෙක් ඉතා අඩු වයසකදී ජීවිතෙන් සමු ගත්තා,හේතුව තහනම් උත්තේජක නම් ඒකට වගකියන්නේ කවුද දන්නේ නෑ,
පහු ගිය කාලේ ලංකාවෙ ක්‍රීඩකයෝ විශාල ප්‍රමානයක් තහනම් උත්තේජක චෝදනා වලට අහු උනා,ජාත්යන්තර තරග වලදි,මට රුවන්ල එක්ක පැදපු ක්‍රීඩකයෙක් කිවුව කතාවක් මේක,,රේස් එක පැදින්න අරන් ටිකකින් ටැබ්ලට් එක ගන්නේ පස්සේ ඉතින් රුවා තනිකර මී හරකා වගේ ඔලුව පාත් කරන් එකම පැදිල්ල රේස් එක ඉවර උනාමත් රුවා හරි වෙනස්ටික වෙලාවක් යනකන්,අනේ මන්දා මේ කතා නම්.
මමත් බයිසිකල් රේස් වලට ආසා කොලුවා නේ,,ඉතින් මම ස්කෝලෙ ගියේ බයිසිකලෙන්,,,ගමන බිමන කොයි වෙලාවෙන් බයිසිකලෙන්,පුලුවන් තරම් වේගයක් ගන්නවා ඕක පදිනකොට,,,මොකද මටත් බයිසිකල් රේස් පැදීමේ ලෙඩක් හැදීගෙන ආවේ,මගේ බයිසිකල් ලෝකේ වීරයෙක් උනු ඉතාලියේ මාර්කෝ පන්තානි මිනිහා කදු බැස්මකදි පැයට කිලෝමීටර 120 විතර වේගයක් අරන් තියනවලු,,කොහොමද වේගේ,පන්තානි නම් 2004 මලා,කුඩු ගහලම,පීනන්න සල්ලි හම්බෙනකොට මිනිස්සුන්ට වෙන ලෙඩ වැඩි වෙනවා නේ,ආ මමත් ඔන්න දවසක් පල්ලමකදී මගේ ඉහලම වේගේ ගන්න උත්සහ කලා දවසක්,දැන් මම යනවා කුරුල්ලා වගේ නිකන් පාවෙනවා වගේ ඒ තරම් ස්පීඩ්,ඔහොම යද්දී මට නිකන් දැනුනා මම බයිසිකලේ නෙමේ ඉන්නේ වගේ,,හැඩල් එකකුත් නෑ,එතකොටත් පරක්කු වැඩී මගේ මූන පතිත උනා මහ පොලවට,,ප්ලේන් එකක් වගේ නිකන් බිම දිගේ මාව ඇදීලා ගියා,,,ඒ එක්කම බයිසිකලෙත් මගේ පිට උඩ වැටිලා නැවතුනා,පස්සෙන් ආපු යාලුවා ලගට ඇවිල්ලා කතා කරනකන් මට මොනා උනාද කියලා හොයා ගන්න බැරි වෙලා තිබුනේ,පොර මාව ඉස්සුවා,,මගේ මූන කට නෑ වගේ මට දැනුනේ,,හොම්බ එහෙම නෑ වගේ,,අත ගාලා බලද්දි ලේ පිරුනා අතේ,,,හොම්බ නේ මුලින්ම බිමට පතිත උනේ,බලද්දි හොදටම තුවාල,,බිම දිගේ ඇදිලා ගිහින් අත පය එහෙම හොදට තුවාල වෙලා තදටම සීරුම්,කොහොම හරි බයිසිකලේ අහල ගෙදරකින් දාලා යාලුවා මාව බේත් දාන්න ගෙනිච්චා,,,ගෙදර ඇවිත් කන්නාඩියක් ලගට ගිහාමයි දැක්කේ ඉස්සරහා දතෙන් කෑල්ලක් අඩුයි කියලා,ඔන්න ඔතනින්ම මගේ බයිසිකල් ධාවන ලෙඩෙත් හොද උනා,,,අපරාදේ ඕක නොවෙන්න මේ වෙනකොට මමත් දක්ශ පාපැදි ධාවකයෙක්...

(යම් තොරතුරු ගූගල් හරහා හොයා ගත්තේ)



Saturday, June 29, 2013

බයිසිකල් නගරාධිපති

                                                            (නගරාධිපති ලෙස දිවුරුම් දුන් දා)
මේ දවස් වල මම උදේට දකින දර්ශනයක් තමා මේ බයිසිකලෙන් නගර සභාවට වැඩට යන මම ඉන්න නගරේ පලමු පුරවැසියා හෙවත් නගරාධිපති මහත්තයා.දැන් සතියක් විතර ඇති නගර සභා චන්දෙන් දිනලා වැඩ බාර අරගෙන.
ඉතාලිය අද ආර්ථික අතින් ගොඩක් පසු පස්සට ගිහින් කියන එක කියන්නත් දෙයක් නෙමේ,ප්‍රධාන පක්ශ 2 එකතු වෙලා හදපු හවුල් ආණ්ඩුව පවතින ආර්ථික අපහසුතා වලින් ගොඩ එන්න පුදුම වෙහෙසක් ගන්නේ,මේ ආර්ථික පසු බැස්ම නිසාමද කොහෙද මධ්යම වාමාංශික,දක්ශිනාංශික පක්ශ දෙක එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවේ.මේ අතරම මිනිස්සු පවතින දේශපාලන ක්‍රමයට විරෝධය දක්වන්න අරගෙන,දේශපාලන විරෝධී ‍රැල්ලක් ඉස්සරහට එනවා,පාර්ලිමේන්තු මැතිවරනෙදි ඒ ‍රැල්ල ගොඩක් ඉස්සරහට ආවා,ගොඩක්ම ඉදිරියට ආවේ විකට නළුවෙක් උනු ග්‍රීල්ලෝ හරහා,,,ජන්ද වයාපාරයේ ලොකු කොටසක් කලේ අන්තර්ජාලය හරහා,බ්ලොගර් සහ ‍ටුවිටර් විශාල වැඩ කොටසක් කලා,ග්‍රීල්ලොගේ බ්ලොග් එක ලෝකේ වැඩිම පිරිසක් නරබන බ්ලොග් කීපය අතරට ගියා,
මේ දේශපාලන විරෝධී ‍රැල්ල එක්ක තමා මේ නගරාධිපතිත් ඉස්සරහට ආවේ,ඉතාලියේ පසුබෑම පටන් ගත්තු නගරයක් තමා මම මේ ඉන්න නගරය,අද වෙනකොට නගර සභාව හිගන නගර සභාවක් වෙලා,,කොටින්ම පාර සුද්ද කරන මිනිස්සුන්ට පඩි ගෙවන්නවත් සල්ලි නෑ,මේකට ප්‍රධානම හේතුව හොරකම,කොමිස් කෑදර කමෙන් කරපු අසාර්ථක ව්යාපෘති,හැබැයි හොරුන්ට නිදහසේ ඉන්නත් නෑ දැන් එක එකාව අල්ලන්න අරගෙන,කට්ටියක් හිරේ දැනටමත්.
අවුරුද්දක්  විතර නගරාධිපති කෙනෙක් නැතිව කොමසාරිස් කෙනෙක් යටතේ දුවපු මේ නගර සභාවට පහු ගිය මාසේ ජන්දයක් ආවා,ප්‍රධාන පක්ශ වලට අමතරව ස්වාධීනව ඉල්ලපු අයත් උන්නා,,,ඒ අය තමා පවතින දේශපාලනයට විරෝධී ‍රැල්ල,බයිසිකල් නගරාදිපති භෞතික විද්‍යාව  ආචර්යවරයෙක්,මෙයා ඉතාලියේ උඩ කොටස සහ සිසිලි දූපත යා කරන්න හදන්න හදන පාලමට විරෝධය පලකරන කණ්ඩායමේ ඉදිරි නියමුවෙක්,මෙයාගේ ගමන බිමන කොහොමත් උනේ බයිසිකලෙන් ඉතින් ජන්ද මෙහෙයුම පටන් ගත්තෙත් බයිසිකලෙන්ම තමා,,,
ලොකු වාහන පේලියක්,ශරීර ආරක්ශකයෝ,විශාල වේදිකා, කොටින්ම විශාල ‍රැස්වීම්වත් තිබුනේ නෑ,, ඩෙනිම් කලිසමයි,පාලම් විරෝදයට ගහපු ටී ශර්ට් එකයි ඇදගෙන බයිසිකලෙන්ම එනවා, පොඩි හන්දි වලට,එතන පොඩි ‍රැස්වීම් ලෑස්ති කරනවා,,ඔහොම ක්‍රමයක් තමා ගියේ.

ජන්දයේ පලවෙනි වටෙදී  මධ්යම වාමංශික පක්ශ හවුලෙන් නගරාධිපති තනතුරට තරග කරපු තරුන අපේක්ශකයා දිනනවා,මීට ඉස්සල්ල බලේ තිබුනු පක්ශය 3 තැනට විසි වෙනවා,අපේ බයිසිකල් අපේක්ශක තුමා 2 තැනට එනවා,,,අවුරුදු 60 විතර උනාට තනිකර තරුණයෙක් වගේ හැසිරීම වැඩ,කිඩ,දැන් ඊලග වටයට සූදානම් වෙනවා,,,මේ වටේ 1 සහ 2 ස්ථාන ගත්තු අපේක්ශකයෝ 2 අතර විතරයි ජන්දය,මූනට මූනලා කරන රූපවාහිනී විවාදයෙදී අපේ බයිසිකල් මහත්තයා සෑහෙන ඉදිරියට එනවා,,
දෙවෙනි වටේ ජන්දයෙන් බයිසිකල් මහත්තයා දිනනවා,අලුත් නගරාධිපතිගේ කියන්න කාරනා ගොඩක් තියනවා,,මෙයාගේ තිබුනු සරලකම තමා ජන්දය දිනන්න ගොඩක් බලපෑවේ,සරල මිනිහෙක් වෙන්න මූලිකව බලපාලා තියෙන්නේ ටිබෙට්වලට ගිහින් බුදු දහම හැදෑරීම,මෙයගේ ලෝකේ වීරයෝ තමා මාටින් ලූතර් කිං,දලයි ලාමා,ප්‍රැන්සිස් පාප්තුමා,මේ මිනිස්සුන්ගේ තියන සරලකම එයාගේ ජීවිතේට ලොකු වෙනසක් කලාලු,ඒ අතරින් බුදු දහම එයාට සෑහෙන බලපැමක් කලාලු,ඒ සරලකම දකපු මේ මිනිස්සු මෙයාව විශ්වාස කලා,තමන්ගේ කඩා වැ‍ටුනු නගරේ මෙයා ගොඩ ගනී කියන එක අද සේරම විශ්වාස කරනවා,,නගරේ දියුනුව අපිටත් ගොඩක් දුරට බලපාවි.
මම මේ කල්පනා කලේ බුදු දහම තියන අපේ රටේ දෙශපාලකයන්ට මේ වගේ සරලකම පුරුදු වෙන්න බැරි ඇයි කියන එක,බලන් යනකොට මේ මිනිස්සු අලුතෙන් බුදු දහම ඉගෙන ගෙන ඒකත් තමන්ගේ රටේ දියුනුවට හරවන්න අරගෙන,අද කොහොමත් මෙහෙ දේශපාලනේට සරලකම ලොකු ආයුධයක් වෙලා,,මිනිස්සු පිලිගන්නේ ඒ සරලකම.

                                                         (නගරාධිපති මහත්තයා බයිසිකලෙන්)

Sunday, June 9, 2013

ඉතාලියේ විදේශිකයන්ට ලැබෙන සේවයක්





කාලෙකින් ආයේ පෝස්ට් එකක්,කොහෙද වෙලාව අඩු කමයි,නිවාඩු දවසට එන කම්මැලිකම නිසා බ්ලොග් ලිවිල්ල මග ඇරෙනවා,හරි අපි බලමු මොකද්ද මේ ලැබෙන ලොකු සේවය කියලා,ඉතාලිය කියන්නෙත් අද විදේශිකයෝ විශාල ප්‍රමානයක් ඉන්න රටක්,ලක්ශ 50ක් කිට්‍ටු වෙන විදේශික ජනතාවක් ඉන්නවා කියලා  මට ලගදී කොහෙන් හරි ඇහුනා,ඉතින් මේ විශාල ජනතාවගෙන් මේ රටට ලොකු සේවයක් වෙනවා කියන එක රටේ ආණ්ඩුවට පිළිගන්න වෙලා තියනවා,,,අනික යුරෝපා සංගම් නීති පද්ධතියට යටත් වීමෙනුත් මේ විදේශිකයෝ පිළිබද යම් සොයා බැලීමක් කරන්න වෙලා,,අනික් එක තමා යුරෝපා රටවල් අතරින් ඉතාලියේ ක‍තෝලික පල්ලිය මේ රටේ වෙසෙන දුප්පත් වීදේශිකයන්ව අතෑරලා නෑ,,ජාති ආගම් බේදයක් නැතුව පල්ලියෙන් කෙරෙන සේවයත් ඉතා ඉහලයි.
ලගදී ඉතාලියේ විදේශිකයන්ට දුන්නු සේවාවට යමු එහෙනම්,අපි කාට උනත් අපේ මවු භාශාවෙන් පිට භාශාවක් කතා කරන්න හුරු වෙනකොට ඒ භාශාවේ සියලුම දෑ අපිට අල්ල ගැනීම අපහසුයි,,යම් යම් අවස්ථාවලදී යෙදෙන භාශා හැසිරීම ඒවාට යෙදෙන වචන අල්ල ගැනීම ගොඩක් අමාරු වෙනවා,,ඒක තමන්ගේ මවු භාශාවෙනුත් යම් යම් වෑරදීම්,තේරුම් ගෑනීමේ අපහසුතා සිදු වෙන වෙලාවල් තියනවා,,,අපිට උනත් සිංහල භාශාව වරදින වෙලාවල් නැතුව නෙමේ නේ.
මේ අපහසුතා හොදටම දැනෙන තැනක් තමා රෝහල කියන්නේ,,රෝහල කියන්නේ විදේශිකයන්ට භාශා දැනුම අඩු කම නිසා ගොඩක් අපහසුතා සිදු වෙන තැනක්,අපට ලංකාවෙදි උනත් රෝහලකදි භාශා ප්‍රශ්න එන වෙලාවල් තියනවා,,,එහෙම බලනකොට කොහොමද විදේශ රටකදී විදේශ භාශාවක් එක්ක ගනුදෙනු කරද්දි,ඉතින් මේ අපහසුතා හදුනා ගත්තු ඉතාලි රජය මේකට මරු පිළියෙමක් යොදලා තියනවා මේ වෙනකොට,ඒ තමා භාශා පරිවර්තකයෙක් යොදා ගැනීම,හැබැයි මේ භාශා පරිවර්තකයා ඉන්නේ රෝහලේ නෙමේ,,මොකද ඒක ප්‍රායෝගික දෙයක් නෙමේ නේ,,එහෙම කලොත් විවිධ භාශාවලින් භාශා පරිවර්තකයෝ විශාල ප්‍රමානයක් බදවා ගන්න වෙයි රෝහලේ සේවකයෝ විදිහට,
ඉතින් මේ ගැටලුවට දුන්නු නියම උත්තරේ තමා දුරකතනය මාර්ගයෙන් භාශා පරිවර්තක සහය ලබා ගැනීම,කෙටියෙන් සිංහලෙන්ම කිවුවොත් කෝල් කොන්පරන්ස්,දැන් තේරුනා නේ.
තවත් පැහැදිලි කලොත් ඔන්න මම යනවා ස්පිරිතාලෙට ලෙඩකට බේත් ටිකක් ගන්න,ගිහින් ඩොකා එක්ක කතා කරද්දි මට තේරෙන්නේ නෑ ලෙඩේ ඩොකාට හරියට පැහැදිලි කරන්න,එතකොට ඩොකා කරන්නේ කෝල් එකක් ගන්නවා භාශා පරිවර්තකයට, දැන් මම භාශා පරිවර්තකයට විස්තරේ දෙනවා,,පොර ඩොකාට පැහැදිලි කරනවා,
ඇත්තටම මේ සේවය ඉතාලි දොස්තරලා උනත් මානුශික පැත්ත ගැන හිතලා එයාලත් මේ විදේශිකයන්ට කරන ලොකු සේවයක්,,මොකද මේ භාශා පරිවර්තනය කරන අතර රෝගයට ප්‍රතිකාර කිරීමත් ලේසි නෑ නේ,අනික් එක තමා මේකට කිසි මුදලක් අය නොකිරීම,
මම මේ පෝස්ට් එක බලන ඉතාලියේ ඉන්න අයවත් පොඩි දැනුවත් කිරීමක් කරන්නම්,,මේ ලබා දෙන සේවය ලගදී ඉදන් ආරම්භ කලේ,,ඉතින් මේක නොදැන ඉන්න රෝහල් සේවකයෝ ඉන්න පුලුවන්,,ඔයාලා රෝහලකට ගිහින් භාශා ගැටලු ආවොත් මෙහෙම සේවයක් ගන්න පුලුවන්ද කියන එක අහලා බලන්න,විමසිලි කවුන්ටරේට කියලා බලන්න,එයාලා අරගොල්ලන්ව දැනුවත් කරයි.
එහෙනම් ඔන්න ඕක තමා ඉතාලි රජයෙන් අපිට ලබා දුන්නු සේවය.

Saturday, April 27, 2013

මහලු වියේ අභියෝග..

පහු ගිය 14 වෙනිදට මගේ බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු 3ක් ගෙවුනා,,මේ තාක් කාලයක් අහම්බෙන් හරි මගේ බ්ලොග් එක බලන්න එන අයට ගොඩක් ස්තූතී.
හරි එහෙනම් අද පෝස්ට් එක පටන් ගන්න ගත්තා ඔන්න.මහලු විය,අපි කාටත් ජීවිතය ඉක්මනින් අහවර නොවී ගෙවුනොත් මහලු වියට යන්න වෙනවා.මම මෙතන මහලු විය කියන්නේ අවුරුදු 80න් පස්සේ හරිද? ලංකාවේ අවුරුදු 50 පනිද්දි අපි දැන් නාකි වෙලා කියන උන් එක්ක ඇත්තටම තරහා යනවා.මොනා කරන්නද යුරෝප්  අවුරුදු 80 වයසක  ජෝඩු අත් දෙක පටලගෙන පාරේ ගියාට අපේ අය ඉතින් 40 පැනපු ගමන් දෙන්නා යන්නේ අඩි10ක විතර පරතරයක් තියාගෙන නේ,පොඩ්ඩ පොඩ්ඩ ඔය දුර වැඩි වෙනවා.
හරි මම මේ දවස්වල ‍රැකියාව කරන්නේ වයසක ජෝඩුවක් එක්ක නේ,ඊට අමතරව ලංකාවෙත් වයසක ජෝඩු කීපයක් එක්කත් තවත් රටක වයසක ජෝඩුත් අරගෙන මම පොඩි පරීක්ශනයක් කලා,ඒකෙන් මම හොයා ගත්තු දේවල් තමා මේ කියන්න යන්නේ.
80 පනිනකොට ඇත්තටම ශාරීරික වශයෙනුත් මානසික වශයෙනුත් වැඩියෙන් පීඩා විදින්නේ පිරිමි අය,ඒක මම මේ පරීකශනයේදී දැකපු විශේස දෙයක්. හොදට නිරෝගිව ඉන්න පිරිමින් 80 පනිනකොට එක එක ලෙඩ එනවා ශාරීරික වශයෙන් ගත්තොත් හුස්ම ගැනීමේ අපහසුතා,,ආහාර ජීර්න අපහසුතා,මල පහ කිරීමේ, මුත්‍රා කිරීමේ අපහසුතා,රුධිර පීඩන වෙනස්වීම් බහුලව සිදු වෙන දේවල්, කාන්තාවන්ට මේ දේවල වෙන්නේ නැතුව නෙමේ,,ඒත් මම පරීක්ශනේට ගත්තු වයසක ජෝඩු වල මේ ලෙඩ වැඩියෙන් තිබුනේ පිරිමි අයට,
අනික් පැත්ත මානසික වශයෙන් ගත්තම අයියෝ කියන්න කනගා‍ටුයි ඉතාමත් දුක්බරයි,මේ ජෝඩු කීපයේම පිරිමි සේරමන්ගෙම ඔලුව අවුල් වෙලා,,අඩුම ගානේ අමතක වීමේ රෝගය සියල්ලන්ටම,,,කියපු දේ විනාඩියෙන් අමතක වෙලා යනවා,
මේ සියලුම ජෝඩු විවාහ ජීවිතයේ අර්ධ ශතකය පැනපු අය තවත් කියන්න කනග‍ටුදායක දෙයක් තියනවා,මේ සියලුම පිරිමි මේ වෙනකොට ඉතාමත් දරුණු ලෙස බිරින්දෑගේ ග්‍රහනයට අහු වෙලා ඉන්නේ,කන්න,බොන්න ඇවිදින්න,අදින්න ඕනා බිරින්දෑ කියන විදිහට,,කොටින්ම කියනවා නම් බිරින්දෑවරු නිකන් හිට්ලර් වගේ.මම මගේ පරීක්ශනේ එක නිගමනයක් කියන්නම්,,,මේ පිරිමින්ට මේ කනග‍ටුදායක විපත්තිය වෙලා තියෙන්නේ මම හිතන විදිහට මේ බිරින්දෑවරු සමග අවුරුදු 50ක් එකට ජීවත් වීම,සමහරවිට පිරිමි ඒ කාලේ රජාලා වගේ ඉන්න ඇති ඒකට දැන් බිරින්දෑවරු රිටර්න් එක දෙනවා වගේ.
මම දැන් මේ ජෝඩු කීපයක මම දැකපු දේවල් ලියන්නම්.
1.ඉතාලි ජාතික
ජෝඩුව - මෙතන නම් තනිකර යන්නේ රිටර්න් එක දීමක්,මෙතන සීයගේ ඔලුව සම්පූර්නයෙන්ම අවුල්, තමන්ගේ උපන් දිනේ පවා අමතකයි,,ඉතාමත් දරුනු ලෙස බිරිදගේ ග්‍රහනයේ ඉන්නේ,සීයා අවටියල් චරිතයක් නෙමේ ඒත් පොර පොරගේ පැත්තේ මිනිස්සුන්ට සල්ලි වලින් සෑහෙන්න උදව් කරලා බිරිදට හොරෙන්, ඒකට දැන් රිටර්න් එක දෙනවා ලෙසටම,,කියන්න සතු‍ටු දේ තමා තාමත් මේ මනුස්සයා බිරිදට ආදරේ කරනවා,,අඩුම ගානේ සතියකට සැරයක්වත් කිස් එකක් දෙනවා.ඔලුව අවුල් උනත්.එක ඇදේ තාමත් නිදියන්නේ,පොර ඇදෙන් බැහැලා වැ‍ටුනොත් කියලා පොරව හිර කාරයෙක් වගේ කො‍ටු කරලා ඉන්නේ,,,ඒකට එයා සෑහෙන හිතින් දුක් විදිනවා.
2. ශ්‍රී
ලංකාවේ ජෝඩුව - මෙතන තත්වෙත් ඉතාමත් භයානකයි,බිරින්දෑ සමග දරුවන් 10 දෙනෙක් ජීවත් කරවපු මේ සීයා බිරිදගේ ගෙදර බින්න බැහැපු කෙනෙක්. මහ පොලව එක්ක හැප්පිලා වගාවෙන් ලොකු පවුලක් නඩත්තු කරපු මේ සීයා අද බිරින්දෑ නිසා සැහෙන කට්ටක් කනවා,පොඩි අමතක වීමේ රෝගෙකින් පෙලුනට ලොකු ආබාධා නෑ, දරුවන් 10න් සැහෙන පිරිසක් දැන් ඉන්නේ ඉතාලියේ මේ දරුවන් අම්මට සල්ලි යවනවා,,අම්මා ඒකට සෑහෙන උඩ ගිහින් ඉන්නේ,,,අනික බින්න බැහැපු නිසා සීය නිකන්ම බිර්න්දෑගේ අනසකට යට වෙලා,,අනික දැන් සල්ලිත් නෑ පොඩි ශොට් එකක් දාන්නවත්,,අඩුම ගානේ සුරුට්‍ටුවක් ගන්නවත්,දරුවන් තාත්තගේ අතටත් කීයක් හරි දෙන්න කිවුවට රුපියලක්වත් හම්බු වෙන්නේ නෑ, මේ ලගක ඉදන් ආච්චි සීයට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කලා,,, උබ මගේ ගෙදරින් එලියට බහින්න ඕනා,,උබ මාත් එක්ක එනකොට මොනවත් තිබුනේ නෑ මගේ දේවලින් උබ ජීවත් උනේ,,,දැනුත් උබට සල්ලි නෑ,, ටික දවසකට ඉස්සල්ලා මට ආරංචි උනා සීයා දැන් ඉන්නේ දුවෙක්ගේ ගෙදර,අන්තිමට හිස් අතින් ඇවිත් බින්න බැහැපු සීයට ගෙදරින් එලියට බහින්න උනා.
3.ශ්‍රී
ලංකාවේ ජෝඩුවක්- මෙතනත් සීයගේ ඔලුව සැහෙන්න අප්සට් ගිහින්,,කතා කිරීමේ හැකියාව පවා ගොඩක් දුරට බිද වැටිලා ඒත් ඇවිදිනවා ඇදට වැටිලා නෑ, රියදුරෙක් උනු මේ සීයා අද ඉන්නේ නිරන්තරයෙන්ම බිරිදගේ ‍රැවුම් ගෙරවුම් මැද,කෑවත්,බිව්වත්,ඇවිද්දත් බිරිද ඒකේ වැ‍රැද්දක් හොයලා ගේමට එනවා.
අනික් ජෝඩු වලත් තියෙන්නේ මේ තත්වෙම තමා,ඒක නිසා ලියන්න දෙයක් නෑ.
බලද්දි මොන රටෙත් එකම තත්වේ තියෙන්නේ, මම මෙතන දකින්නේ ඇයි මේ කාන්තාවන්ගේ ඔලුව අවුල් නොවුනේ කියලා,,,ඒකට හේතුවක් මට හොයා ගන්න බැරි උනා,හිතා ගන්නත් බෑ ඒ මොකෝ කියලා.අවුරුදු 50ක් එකට උන්නනේ කොහොම හරි,එක අතකට පිරිමියගේ පාලනයට අහු වෙලා ඉදලා අද ඒකට රිටර්න් එක හම්බෙනවද මන්දා පිරිමින්ට,,ඒත් ඉතින් මේ කාන්තා නිදහස තියන යුරෝපෙ එහෙම උනා කියන්නත් බෑ,,,ලංකාවෙ නම් එහෙම උනා කියමුකෝ,,,නැත්නම් දැන් ආදරේ කරලා ඇති වෙලාද මන්දා,,,මේ ඉතාලි ආච්චි නම් කියන එක කතාවක් තියනවා,,මගේ අම්මා කිවුවා මේ මිනිහා එක්ක යන්න එපා කියලා,,මම ඒක ඇහුවේ නෑ,,,,ඒ කතාවටමට එක පාරටම හිනා ගියා,,ආච්චිට අවුරුදු 53ට පස්සේ මිනිහව එපා වෙලා තියෙන්නේ,,,අර බින්න බැහැපු සීයගේ ආච්චි කියන කතාවක් තියනවා,,අපේ අම්මලා බලෙන් මේ මිනිහව මගේ කරේ එල්ලුවේ,මට හොදට සැපෙන් ජීවත් වෙන්න තිබුනා මේ මිනිහා එක්ක ඇවිත් ඒක මම මගේ ජීවිතේ විනාශ කර ගත්තා,,,මට එතකොට හිතුනේ ආච්චිගේ මොකක් හරි සින්කොන් එකක් තිබිලා තියනවා, ගෙදරින් ඒකට පොල්ල දාලා වගේ.,,අවුරුදු 50ට පස්සේ ඔන්න ඒ ආච්චිගේ කතාව.
කොහොමෙන් කොහොම හරි මම මෙතන කියන්නේ නෑ තනිකඩව ඉන්න එක හොදයි කියලා නම්,,,තනිකඩව ඉදලා 80 පැන්නම විවාහ වෙලා කන කට්ටට වඩා කට්ටක් කන්න වෙනවා,,,ඒක මම දැක්කේ මහලු නිවාසෙකින් ඒ ගැන නම් ලියන්නත් දුකයි.ඒ ගැන ලියන්නේ නෑ පොඩ්ඩක් මහලු නිවාසෙකට ගිහින් බලන්න.
බ්ලොග් එක බලන සියලු දෙනාටම අවුරුදු 50ක විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරලා මෙතනින් නවතිනවා,,,සියල්ලන්ටම අවුරුදු 50ක විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා!!!

Saturday, March 30, 2013

චන්ඩියෙක් වූ ඉන්දියාව

මේ දවස් වල අපේ ප්‍රධාන හතුරා ඉන්දියාව,කොටින්ම කියනවා නම් පේස්බුකියේ අපේ අය ගහනවා ගැහිල්ලක් ඉන්දියාවට ලොවෙත් නැතිවෙන්න... ඉන්දියාව මේ දවස් වල අපිට විතරක් නෙමේ චන්ඩිකම් පෙන්නන්නේ, ඉන්දියාව ඒ පාර ඉතාලියටත් ගහනවා ගැහිල්ලක් ඇඩෙන්නම.අපි නම් ඉන්දියාවට කරුණානිධිට,ජයලලිතට පුලුවන් විදිහට සිංහලෙන් පේස්බුකියෙන් හරි බනිනවා ඒ උනාට ඉතාලිය අයියෝ පුදුම දුකක් විදින්නේ මේ ඉන්දියාවේ චන්ඩිකම් ඉස්සරහා.මොකද්ද මේ ඉන්දියා ඉතාලි හුටපටේ?
ඉතාලි සමාගමකට අයත් තෙල් නැවක්  සිංගප්පූරුවේ ඉදලා ඊජිප්තුවට ගමන් කරනවා, මේ තමා සෝමාලියා මුහුදු කොල්ලකාරයෝ ඉන්දියන් සාගරයේ උපරිම වැඩ දාපු කාලේ මාලු අල්ලන්න යන ට්‍රෝලර් පවා පැහැරගෙන නිදහස් කරන්න වන්දි ඉල්ලනවා,මේකට නැව් සමාගම් කලේ තමන්ගේ නැව් වලට තමන්ගේ රටේ නාවික භටයෝ හරි කුලියට ආරක්ශක භටයෝ හරි නැවේ ආරක්ශාවට නැවේ සේවයට එක් කර ගැනීම. ඉතින් මේ ක්‍රමේට එන්රිකා ලෙක්ශිකා නම් උනු මේ තෙල් නැවට ඉතාලි නාවික භටයන් 6ක් ආරක්ශාවට යනවා,
2012 පෙබරවාරි 15 මේ නැව අරාබි මුහුදේ ගමන් කරන්නේ මේ නැවට ලංවෙනවා ඉන්දියාවේ කේරලයෙන් පිටත් උනු මාලු අල්ලන ට්‍රෝලරයක්,දැන් තමා සිද්ධිය මේ ට්‍රෝලරයට මුහුදු කොල්ල කරුවන් කියලා ‍රැව‍ටුනු මේ වෙලේ නැවේ ආරක්ශාවට උන්නු නාවික භටයෝ දෙන්නා නැවට ලං නොවෙන්න එපා කියලා අනතුරු අගවනවා,,ඒත් මේක අහපු නැති ට්‍රෝරලය තවත් නැවට ලං උනා,නාවික භටයෝ දෙන්නා මොකෝ කලේ ට්‍රෝලයට වෙඩි තිබ්බා,නැව යන්න ගියා,,
ඒ වෙනකොට ට්‍රෝලරයේ උන්නු කේරල ධීවරයෝ දෙන්නෙක් මිය ගිහින්, මේ තොරතුර කේරලයට ගිය ගමන් ඉන්දියානු නාවික හමුදාවෙන් තෙල් නැව පසු පස එලවගෙන ගිහින් නැව අත් අඩංගුවට අර ගෙන කේරළයේ කෝචින් වරායට ගේනවා, අර නාවික භටයෝ දෙන්නා ඉන්දියාව සිරභාරයට ගන්නවා නැවත් කෝචින් වරායේ නවත්ත ගන්නවා.
දැන් නඩු පටන් අරගෙන නඩුව යනවා නාවික භටයෝ දෙන්නට එරෙහිව, නඩු වාර කීපෙකට පස්සේ 2012 නත්තලත් ලං වෙනවා,  ඉතාලි රජයෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ නාවික භටයෝ දෙන්නට නත්තලට ඉතාලියට එන්න ඉඩ දෙන්න කියලා, නැවත භටයෝ දෙන්නව ඉන්දියාවට එවන පොරොන්දුව පිට ඉන්දියානු අධිකරනය  මේ දෙන්නව ඉතාලියට එවනවා,නැවතත් නත්තල නිම වෙලා ඉතාලිය දෙන්නව ආයෙත් ඉන්දියාවට යවනවා,
ආයෙත් ඉතාලි මහ මැතිවරණය වෙලාවෙ ඉතාලිය නැවත ඉල්ලීමක් කරනවා චන්දයට දෙන්නව ආයෙත් එවන්න කියලා, මේ වතාවෙත් ඉන්දියාව දෙන්නව ඉතාලියට එවනවා, මේ වතාවේ ඉතාලිය පොඩි සෙල්ලමක් දාලා බලනවා අපි නාවිකයෝ දෙන්නව ආයේ එවන්නේ නෑ අපේ රටේ නීතිය අනූව දෙන්නව අධිකරනයට ඉදිරිපත් කරනවා කියලා,
ඔන්න ඉන්දියාව චන්ඩිපාට් එක දානවා ඉතාලියට ඇඩෙන්නම,ඉන්දියාවේ ඉතාලි තානාපතිට ඉන්දියාවේ කිසිම ගුවන් තො‍ටුපලකින් රටින් පිටවීම තහනම් කරනවා, නැවත නාවිකයෝ දෙන්නව ඉන්දියාවට භාර දෙනතුරු,මේ වෙලාවේ ප්‍රශ්නය සෑහෙන දුර දිග යනවා, ප්‍රශ්නය රාජ්ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙනවා,එහෙන් කේරළේ මහ ඇමති කෑ ගහනවා, ඉතාලියෙන් තව කෙනෙක් කෑ ගහනවා,,කේරළයේ නාවිකයෝ දෙන්නගේ පබයෝ පුච්චනවා.
ඉතාලියේ නිශ්පාදන ඉන්දියාවෙත් ඉන්දියාවේ නිශ්පාදන ඉතාලියෙත් වෙළදාම ඉතා ඉහලව තියනවා,,මේ අවස්ථාවේ මේ වෙළදාමටත් මේ ප්‍රශ්නය ඇදීගෙන එන්න අරගන්නවා,ඉන්දියාව ඉතාලියට සෑහෙන ලොකු බලපැමක් කරනවා හැම අතින්ම,අවසානෙදී  නාවිකයෝ දෙන්නව ඉන්දියාවට නැවත භාර දෙන්න ඉතාලිය තීරනය කරනවා.
අවසානෙදී ඉතාලි රාජ්්‍ය ලේකම්  සමග නාවිකයෝ දෙන්නා නැවත ඉන්දියාවට යනවා, මේ ප්‍රශ්නෙදී ඇත්තටම මේ ඉන්දියාවේ බලපෑම මුලු යුරෝපා සංගමේටම වැදුනා,,මොකද යුරෝපා සංගමය ඉල්ලීමක් කලා ඉතාලි තානාපතිව මේ ප්‍රශ්නෙදී නිදහස් කරන්න කියලා,,ඒත් ඒක ඉන්දියාව සතේකට ගනන් ගන්නෙ නෑ,මේ වෙනකොට මේ ප්‍රශ්නය නිසා ඉතාලි විදේශ ඇමති ඉල්ලා අස් වෙලා, ආරක්ශක ලේකම් ප්‍රසිද්ධියේ නාවිකයන්ගෙන් සමාව ඉල්ලනවා ප්‍රශ්නය තාම නිරාකරනය කරන්න බැරි උනාට.ඉතාලි භටයෝ වෙඩි තිබ්බේ ජාත්යන්තර මුහුදේ කියලා නැවේ කට්ටිය කියනවා ඉන්දියාව කියනවා ඒ හරිය අයිති ඉන්දියාවට ඒ නිසා ඉන්දියානු නීතියට අනූව මේ දේ සිදු වෙන්නේ කියලා.ප්‍රශ්නය කොහෙන් කෙලවර වේවිද කියලා අද ඉතාලිය බය වෙලා හොදටම.
ඉතාලිය දන්නේ නෑ ඉන්දියාව එක්ක හැප්පෙන හැටි...ඒක ඉගෙන ගන්න ඕනා ලංකාවෙන්..


ඉන්දියානු සාගරයේ සෝමාලි කොල්ල කරුවන්ගේ බලපෑම