Pages

Monday, May 7, 2012

මවුබිමේ සිට

බ්ලොග් එක ආයේ පාලුවට යන්න ගත්තා, ඒකට නම් පැහැදිලි හේතුවක් තියනවා.පිටරටක ඉන්න කෙනෙක්ට මවුබිමට ආවහම මොන බ්ලොග්ද,මමත් පහු ගිය20 වෙනිදා මව්බිමට ගොඩ බැස්සා,,අපේ බ්ලොග් යාලුවෝ නම් ගොඩක් දන්නවා,,මොකද අවුරුදු උත්සවේදී මෙච්චර කාලයක් මම නොදු‍ටු යාලුවෝ ගොඩක් මට මුණගැහුනා නේ,,අවුරුදු උත්සවේ නිසා ගොඩක් සතු‍ටු උනා,,ඒ වැඩේ පිටිපස්සේ හිටිය කට්ටියටම ගොඩක් ස්තූතී.
ඊයේ වෙසක් දවස වෙනකන්ම නොයෙක් නොයෙක් ගමන් වැටිලා මම ගෙදර වැඩිය ‍රැදී සිටියෙම නැති තරම්,, දැනට ගිය ලොකුම ගමන තමා ශ්‍රීපාද චාරිකාව දුම් රියෙන්,,ඒක මරු අත්දැකීමක් උනා,මගේ ජීවිතේ පලවෙනි වතාවට තමා ශ්‍රී පාද ගමනක් ගියේ ඒකත් දුම් රියෙන්,බදුලු කෝච්චියෙන්,හැටන් වලින් බැහැලා,නල්ලතන්නියට බස් එකෙන්,ශ්‍රීපාදේ ලේසියෙන් නැගගන්න පුලුවන් උනත් බැහැ ගන්න නම් ගොඩක් දුක් වින්දා,,ඒ ස්තානය ඒ තරමට පූජනීය උනත් ,මම දකපු දේ තමා එතන මිනිස්සුන්ගෙන් මුදල් කඩා ගන්න තැනක් වෙලා,පිරිත් නූල් විකුනන්නේ මහා අමුතු විදිහකට,,,රුපියල් 100 කොළ වලට විශේස පිරිත් නූලක් බදිනකොට,ආධාර පෙට්ටි වලට මාරු කාසි දමන්න එපා කියලයි කියන්නේ,,සමහරවිට කන්දේ ඉදන් ඕවා උස්සගෙන බහින්න අමාරු නිසා වෙන්න ඇති,,,ඒ වගේ ආධාර එකතු කරන තැන් කීපයක්ම දැක්කා,පිරිත් නූල් විකුනන වැඩක් වගේ එතන කලේ.
පහු ගිය දවස්වල පොඩි පොඩි චාරිකා කීපයකටම පස්සේ(පොඩි චාරිකා ගැන නම් ලියන්නේ නෑමයි අහන්නත් එපා) වෙසක් චාරිකාවක් සෙට් උනා,මාතලේ යාමකට,මාතලේ අලුවිහාරේ එහෙම වැදපුදාගෙන,නකල්ස්,රිවර්ස්ටන් කන්ද තරනයට,,ඒක නම් මරුම ගමනක් උනා.උදේ පාන්දරින්ම ගෙදරින් පිට උනේ,වසර පහකින් තමා වෙසක් එකට මම රටේ උන්නේ,,,ඒ කාලේ එක්ක බලද්දී නම් දන්සල් නම් ගොඩක් අඩුයි, ‍රැ කඩෙන් කන්න උනා ඒ තරමට දන්සල් අඩුයි,,කොහෙ දන්සල් දෙන්නද මේ වගේ කාලෙක,
රිවර්ටන් කන්දේ දවසෙම ගත කලා,,ලස්සන පරිසරයක් තියන එතන අද දකින විදිහට නම් පොලිතින් අරක්කු බෝතල්,ප්ලාස්ටික් දේවල් තැනින් තැන දකින්න හම්බුනා,අපේ කස්ටිය ඒ වගේ තැනක් ‍රැක ගන්න හොදට දන්නවා නේ, එතන හොදට රසවිදලා,කුබුක්කන් ඔයට ආවේ හොදට නාගන්න,,ගිය බදාදා අර ගත්තු ඒවත් ඉවර කරන්න එපැයි,,ඒවත් ඉවර කරගෙන,,එක දෙයක් කියන්නම්ම් වෙරි උනත් අපේ සෙට් එක පොලිතින් උරයක්වත් බිමට නම් දැම්මේ නැ, හිස් බෝතල් ටිකත් ආයේ ගෙදර ගෙනාවා,,ආ කුබුක්කන් ඔය ලග නම් රහසිගතව මත්පැන් විකිනුනා,,අපි ඉතින් වේලාසනම අරගෙන තිබුනු නිසා ඒ වගේ තැනකින් අරගත්තේ නැ, කොච්චර බාර් වැහුවත් ඉතින් කරන්න දෙයක් නැ,, උවමනා මිනිස්සු ලග ඒවට විසදුම් තියනවා,බීම සාධාරණය කරනවා නම් නෙමේ මේ,,ඒත් ඉතින් මේ දේවල් සානුකම්පිතව කල්පනා කරලා මමත් උන් එක්ක සෙට් උනා.
තවත් මාසයක් විතර ‍රැදී සිටින්න බලාපොරොත්තුව ඉන්නේ,,ඉදිරි සැලසුම් ගොඩක් තියනවා,,ආයේ බ්ලොග් එකට එන්න වෙන්නේ රටින් පිට උනාමද මන්දා,,එහෙනම් කස්ටියටම ජය වේවා!!!!

Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම බ්ලොග් හිත මිතුරු මිතුරියන්ට.අවුරුදු සතුටත් එක්කම මට තවත් සතුටක් තියනවා,අද 14 මගේ බ්ලොග් එකේ දෙවෙනි උපන්දිනේ...බ්ලොග් එක පටන් අරගෙන අදට අවුරුදු 2ක් වෙනවා..තාමත් පුංචි දුකක් තියෙන්නේ මේ බ්ලොග් අවකාශයෙන් මට හමු උන එක මිතුරු මිතුරියන් කාවවත් තාම මගේ ඇස් දෙකෙන් බලා ගන්න බැරි උනු එක,,ආ ඒ උනාට ස්කයිප් හරහා දැක්කේ කීප දෙනෙක්වම.
මේ අවුරුද්දත් මට පිටරටකම ගෙවන්න උනා,දැන් අවුරුදු 5කින් අවුරුදු සිරිය මට බලා ගන්න බැරි උනා,අද පිටරටවල ඉන්න අය ඇත්තෙන්ම සතුටින් නෙමේ ඉන්නේ,පිටරටවල ඉන්න අය සාක්ශි දරයි ඒ හැගීම කොහොමද කියලා.මම ක‍තෝලිකයෙක් උනාට, අපි අවුරුදු සැමරුවා,නැකත් ඉ‍ටු නොකලට අපේ ගෙවල් වල කිරිබත් ඉදුනා අවුරුදු දවසේ,ඒ එක්කම අපේ ගෙවල් වලටත් අවුරුදු කෑම පිගාන ආවා,අපෙන් නත්තලට ඒ කෑම පිගාන ගියා ඒ ගෙවල් වලට, ඒත් අද අපි විදේශයක ඉදන් ඒ හැම දෙයක්ම නැවතිලා, ඒත් අපි ඉරිදා අවුරුදු සමරන්නයි ඉන්නේ,අවුරුදු කෑම මේසයක් අපි ලෑස්ති කලා හැම අවුරුද්දෙම ඒ අවුරුදු උත්සවය තිබුනු සතියේ ඉරිදා. ආ තව දෙයක් කියන්න අමතක උනා,22 අපි සයිබර් අවුරුදු උත්සවයෙදී මුණගැහෙමු. ජය වේවා සියල්ලන්ටම.

Tuesday, April 10, 2012

මීගමු - කොළබ පාරේ දණින් වැ‍ටුනු දා

මට දිනය මතක නැති උනත් මේ 2001 අවුරුද්දේ උනු දෙයක්,,ඒක මට අමතක වෙන්නේ නැතිම දෙයක්, කතාවට යමු, ඔන්න මගේ දෙමව්පියෝ ලංකාවට ඇවිත් ආයේ ඉතාලියට එන්න ආවා. එයාලව ගෙනත් දාන්න අම්මගේ මල්ලිලා දෙන්නෙක් ඒ කියන්නේ මගේ මාමලා දෙන්නෙක් ,තව අම්මගේ අක්කගේ පුතා මගේ මල්ලි වෙනවා අපි 4 එයාපෝට් ඇවිල්ලා අම්මලාව බස්සලා ගෙදර යන්නයි හැරුනේ,පාන්දර 4 විතර ඇති එතකොට කොහොම හරි අපිට එයාපෝට් හන්දියට එන්නත් ඉස්සල්ලා ආවා බඩගින්නක් අපි යන්න ඕනා මීගමු පැත්තට උනත් එහෙට නොයා කොළබ පැත්තට ගියා කඩයක් හොයන්, සීදූව හරියෙදී කඩේකුත් හම්බුනා,, උදෙන්ම උණු උණුවෙම මාළු බනිස්,කිබුලා බනිස් කාලා ප්ලේන්ටී බීලා අපි ආපු වාහනේට ආවා, ඒක අර මැස්ඩා බොංගෝ වර්ගයේ වාහනයක්,ලොකු ටයර් දාලා ඒවා එළියට පන්නලා තිබුනේ,ඒකට අමුතුම පෙනුමක් තිබුනා ඒක හින්දා.අපි දැන් ආයේ ගෙදර යන්න පටන් ගත්තා,ඒ කියන්නේ මීගමු පැත්තට.
මට මතක විදිහට එතකොට වෙලාව 5.30 විතර ඔය වෙලාවට වාහනත් නෑ පාරේ, මාමත් එලෝනවා පුදුම වේගෙකින්, ගමන වැඩි කරලා වැඩි දුර යන්න හම්බුනේ නෑ, පස්සෙන් කැබ් එකක් හෝන් ගහනවා ,ලයිට් ගහනවා උන් ඉස්සර කරන්න හැදුවේ, අපේ මාමට ආපු චූන් එකට උන්ට ඉස්සර කරන්න දෙන්නේ නෑ, එයත් වාහනේ තව වේගේ වැඩි කරනවා ,අපිත් හුරේ දානවා, අපිටත් පුල් හැපි ඕවා දකිද්දී, අපිත් පොඩි උන් නේ, කොහොමත් කැබ් කාරයා අපිව ඉස්සර කරන්න හදනවා අපි ඉඩ දෙන්නේ නෑ, ඔහොම ආයේ එයාපෝට් හන්දියත් පහු කරලා පොඩි දුරක් ආවේ,කොහොමත් කැබ් එකක් කියන්නේ හොදට එළවන්න පුලුවන් වාහනයක්, එක පාරටම පස්සෙන් ආපු කැබ් කාරයා අපිව ඉස්සර කරා, ඉස්සර කලා මදිවට පාරේ හරහට හිටින්න නැවැත්තුවා, මාමටත් කරන්න දෙයක් නෑ තද බ්‍රේක් පාරක් ගහලා වාහනේ හිටෙවුවා. ඒ එක්කම කැබ් එකේ පිටිපස්සෙන් එකෙක් බැස්සා තඩි උස මහත පොරක් මට අද වගේ මතකයි මරුමුස් පෙනුමක් තිබුනේ සුදු කමිසයක් ඇදන් හිටියේ, බැහැපියව් ....සිගේ පුතාලා වාහනෙන් කියලා ඉනෙන් පිස්තෝලයක් ඇදලා එළියට ගත්තා, හිංදි පිචර් වල පිස්තෝල දැක්කට එදා තමා මම පලවෙනි වතාවට ලගට පිස්තෝලයක් දැක්කේ,
දැන් වාහනේ හිටිය අපි 4 දෙනා සද්ද නෑ , ඒ වෙද්දී මල්ලියා පාත් වෙලා සීට් එක යට ඌ පොඩි එකානේ,දැන් අර තඩියා අපේ වාහනේ ලග, බැහැපියව් කියලා නේද කිවුවේ පර බල්ලෝ,මගේ දවසම කෑවා උදේ පාන්දරින්ම, පිස්තෝලේ දික් කලා මාමගේ පැත්තට ඒ ගමන්ම, මට චූ යන්න වගේ ආවා පිස්තෝලේ දික් කරනකොට නම්, එතකොටම මාමලා දෙන්න බැස්සා,, මමත් බැස්සා, මලයා සීට් එක යට, ඌව අර තඩියා දැකලා නෑ.
මේකගේ අතේ පිස්‍තෝලේ සිංහල භාශාවේ තියන කුණුහරප සේරම කියලා බනිනවා , තොපි දන්නවද මම කවුද කියලා,මම තමා යකෝ කුරුණෑගල ............... කිවුවා. මට මතක නෑ නම,, පොලිසියේ ලොක්කෙක්, තඩියා වැඩට යනවා උදේ පාන්දරින්ම,පර බල්ලෝ තොපි මගේ දවසම කෑවා කාලකන්නී කියලා, දන ගහපියව් පාරේ කිවුවා, මොනා කරන්නද අරූ කිවුව සැනින්ම අපි 3නා දන ගහලා ඉවරයි,,ඒක මහා මූසල උදැසනක් උනා මගේ ඇහෙන් කදුලු පැන්නා, චූ යන්න වගේ ආවා ඒත් තද කර ගත්තා,,මේකා අපේ ඔලුවට පිස්තොලේ ලං කරනවා අමු කුණුහරපෙන් බනිනවා, වාහනේ එලවන් ආපු මාමට බයිනවා ‍තෝ දැනගන් කවුරුහරි වාහනයක් ඉස්සර කරන්න ඉඩ ඉල්ලන්නේ මොකක් හරි හදිසියකට ඒක හින්දා ඉඩ දීපිය, යකෝ අපි දන්නවද මූ පොලිස් ලොක්කෙක් කියලා,,මූ අපිව දනගස්සෝලා බැන බැන එතන ඉන්නවා,පාරේ මැද්දේ වාහන දෙක,,අනික් වාහන අයින් කරන් ගියා, එතකොටත් පාරේ ටිකක් වාහන අඩුයි,යන වාහන වල උන් ඔලුවල් එලියට දාලා බලනවා නිකන් තොරන් බලනවා වගේ, මගේ ඔලුව කැරකෙනවා මුලු ලෝකෙම ඔලුවට කඩන් වැටිලා වගේ,,ඒ මදිවට දනිස රිදෙනවා දැන් පැයකට විතර ලගයි මේ සිද්දියට,අපි දනිස් රිදෙනකොට පොඩ්ඩක් සැහැල්ලු වෙන්න පාරේ ඉදගන්නවා වගේ වෙනවා දනිස් දෙකෙන්,,එතකොටම අරූ කැ ගහනවා ඔහොමද බල්ලනේ දන ගහන්න කිවුවේ කියලා,,ඇත්තටම මට නම් ඇඩුනා, ඉන්නම බැරි කමට,
ඔන්න දැන් ඉර පායගෙන එනවා, පොඩ්ඩ පොඩ්ඩ පාරේ මිනිස්සු වැඩි වෙනවා, එතකොටම ආපු ත්‍රීවීල් කාරයෙක් එතන හිටෝලා ඔලුව එලියට දාලා මල්ලිලා මොකද්ද කේස් එක කියලා ඇහුවා, තඩියා අපූරුවට කැබ් එකේ ඉදන් ඉන්නවා අපිව දන ගස්සලා,,එතකොටම ආයේ බැහැපු තඩියා ‍තෝ මොකද බල්ලෝ කියලා ඇහුවා පිස්තෝලෙත් එලියට අරගෙන, ත්‍රිවීල් කාරයා ඉගිල්ලුනා. ඔන්න ක‍ටුනායක වෙළද කලාපෙට වැඩට යන ගෑල්ලමයි එලියට බැහැලා එතනින් යනවා පෝලිමට,,ඔච්චර වෙලා දනින් හිටියට ඒ තමා පහු කරපු අමාරුම වෙලාව,,,සේරම බල බල යනවා සමහර අය බලල දුක්මුසු මුහුනෙන් යනවා,,සමහර අයට හිනා යනවා,,,කරන්න දෙයක්ම නැති තැන අපි 3 බිම බලා ගත්තා,,වෙන විසදුමක් තිබුනේ නෑ,කොහොම හරි 7 ලං උනා තඩියා අයේ ආවා ලගට නැගටපියවු කිවුවා,,පස්සේ දිග දෙශනාවක් දුන්නා පාරේ යන විදිහ ගැන කියලා, ආයේ තොපි අහු වෙන්න එපා බල්ලෝ කියලා පොර කැබ් එකට නැගලා ඉගිල්ලුනා, දනිස් දෙක නෑ වගේ ඒ වෙනකොටත් අපි 3 වාහනේ ලගට එද්දී මලයා ඔලුව උස්සල්ලා හිනා උන,,මූ සේරම බලන් ඉදලා තියෙන්නේ,,අපි 3 එක පාරටම බකස් ගාලා හිනා ගියා අරූගේ හිනාවට,නැව ගිලුනත් බෑන් චූන් වර්ගයේ හින්දා අපිට ඒ සිද්දියත් ආතල් දෙයක් උනා,,අපිත් වාහනේට නැගලා ගෙදර යන්න පිටත් උනා.
වාහනේදී අපි පොරොන්දු උනා එකින් එකාට කාටවත්ම කියන්නේ නෑ කියල, ඒත් ගෙදර ගිහින් පැයක් යන්න හම්බුනේ නෑ , අපි 4 කාව හරි දකිද්දී හිනා යනවා,,,කොහොම හරි වැඩි වෙලා ගියේ නෑ මලයා කේස් එක එලියට දාලා,,,අයියෝ අතන වින්ද අපහසේට වඩා අපහසයක් ගෙදරදී වින්දා,,හිනා කාලා මැරුනා,,ඕක මතක් කර කර අදටත් හිනා යනවා, මලයා ඕක පත්තරේ දැම්මා වගේ එලිකලා වටේටම,, ඕකා තමා ඕක මතක් කලේ වැඩිපුර,,අවාසනාවකට ඌ අද අපි අතර නෑ මේ කතාව මතක් කරලා හිනා වෙන්න,,අහිංසකයා අපිව දාලා සදහටම යන්න ගිහින් අවුරුදු 2ක් ලං වීගෙන එනවා,,මේ කතාව මතක් උනෙත් අද උදේ කොල්ලගේ පොටෝ එක දැකලා.කොහොම හරි මේ කතාව මතක් කර කර අදටත් හිනා යනවා,,ඇත්තටම එදා ඒ තඩියා පොලිස් ලොක්කෙක්ම තමා පොර අපිට යන්න ඉස්සල්ලා පොලිස් අයි.ඩි එකක් පෙන්නුවා ලගට නෙමේ ඒත්
, කොහොම හරි අපිට ලොකු පාඩමක් කියා දුන්නා අපිත් පාර අපේ වගේ නේ ගියේ .එදායින් පස්සේ පාරේ පිස්සු නැටුවේ නෑ තාමත්.

Tuesday, March 27, 2012

පාවෙන රුපියල සහ යූරෝ



හෙලෝ අද යූරෝ කීයද?
*172.20 මාත්තයා..
හා..හා පන්සීයේ කොලේට කීයක් දානවද?
*සත පනාක් වැඩියෙන් දාලා දෙන්නම් මාත්තයා
ටූක්...ටූක්....ටූක්
හෙලෝ අද යූරෝ කීයලුද බන්,,,
*175යි ලු බන් පිස්සු නේ
....කනවා තමා අම්මලා 165 ට මාරු කලා බන් ගිය සතියේ....
හෙලෝ පැටියෝ ඔයා අද කතා කලාද ගාන අහන්න,,,
*ඔව් අනේ අද 173.50 ලු, මට අරක මාරු කරන්න හිතෙන්නේ නෑ අනේ තව උඩට ගියොත්,,,
ඔව්,,ඔව් මාරු කරන්න එපා තව ටිකක් බලමු,ඔයා හැමදාම දවසට දෙපාරක්වත් ගාන අහන්න.
හෙලෝ අම්මි ඔයාට මම කිවුවා නේ තව ටිකක් ඉන්න කියලා අපරාදේ මාරු කලේ,,,
*අනේ පුතේ ඔයාමනේ කිවුවේ ගාන බහී මාරු කරන්න කියලා...
පිස්සු,,,මගුලක් කෙරුවා....ටූක්...‍ටුක්...ටූක්
හලෝ මොකද්ද බන් රුපියල පාවෙනවා කියන්නේ..
*මම දන්න ...ත්තක් නෑ බන් ඔය කියන්නේ පත්තරේ ටීවී එකේ,,,ඒත් යූරෝ නම් නගිනවා කෙළවෙන්නම...
හලෝ..උබට ඇහෙනවද? මරු බන් මෙහෙම යූරෝ නැගලා තියනවා නම්.අපිට මොකෝ රුපියල කොහෙ පා උනත්...
*ඒත් එහෙම හොද නෑලු බන් එතකොට රට බංකොලොත් වෙනවලු..
හලෝ මැණිකේ ඔයාට මාව ඇහෙනවද?
*බලන්නකෝ අනේ මම අරක ඊයේ 174ට මාරු කලා,අද 175
මගුල තමුසෙගෙත් පණ්ඩිත කම වැඩීනේ,,,මම කිවුවා....
හලෝ තාත්තා අරක මාරු කරන්න එපා 180 පනී කියලා මිනිස්සු කියන්නේ...
*ඔව් පුතේ ඩොලරුත් 130 පැනලා 150 ට යයි කියන්නේ අවුරුදු වෙද්දී...
හලෝ මොකෝ බන් මෙහෙම යූරෝ වැඩි වෙන්නේ...
*නෙට් එකේ නම් තියෙන්නේ රුපියල පාවෙනවා කියලා බන්...කොහෙ පාවෙනවද මන්දා..පාවෙන තරමට අපිට හොදයි..සික් ,ඕක හැමදාම පාවෙන්නේ නෑනේ......

අම්මි,තාත්තී,බබා.පැටියෝ.රත්තරන් නෝනේ කොහොමද? හොදින් නේද?කෑවද? කියලා අහපු අපි...
අද රුපියල පාවෙලා යූරෝ නැගලා හින්දා ටෙලිපෝං එක ගත්තු ගමන් අහන්නේ රුපියල කීයද කියලා...
රටට රුපියලට මොකක් උනත් මොකෝ අපේ පර්ස් එකට නේ හොද බොරුවට කෑ ගහන උන් නෙමේ නේ අපිට කන්න දෙන්නේ....
අනේ රුපියල තවත් පාවෙයන් පුලුවන් නම් ගුරුත්වාකර්ශනයෙනුත් පිටටම පැනලා පාවෙයන්.....

Friday, March 16, 2012

සූදුව




සූදුව කියන්නෙත් අපේ සමාජයේ මුල් බැහැගෙන තියන දෙයක් ,පෝසතා දුප්පතා කියලා නෑ දෙගොල්ලොම මේකට ඇබ්බැහි වෙනවා, සමහරවිට අපි උනත් විහිලුවට හරි මොකක් හරි සූදුවකට ඔට්‍ටුවක් අල්ලලා ඇති මතක් කරලා බලන්න,ලොත‍රැයියත් එක්තරා සූදුවක් නේ. කැසිනෝ, ජැක්පොට් , අශ්ව රේස්,බලු රේස්,ඔ‍ටු රේස්,කුකුල් පොර ,කාර් රේස්, බයික් රේස් වගේම සියලුම ක්‍රීඩා වලට ලෝකේ හැමතැනම ඔට්‍ටු අල්ලනවා.
මම ඉන්න නගරේ හරි ජයට කරගෙන ගියා ලාංකීය ආහාර විකුනන කෑම කඩයක්,කොහොම හරි මෙතෙන්ට මිනිස්සු එනවා වැඩි වෙද්දී මේ කඩේ අයිතිකාරයා ගෙනාවා මේ කඩේට ජැක්පොට් යන්ත්‍ර , මොකද ඉතාලියේ ජැක්පොට් යන්ත්‍ර,ඔට්‍ටු මධ්යස්ථාන බොහොමයි,අපේ පොරත් ඉතින් කෑම කඩේ ලස්සන වෙන්නත් එක්ක පැත්තකින් තිබ්බා ජැක්පොට් මැශින් 2ක්, ඕකට දාන්නේ යුරෝ කාසි, අපේ මිනිස්සුත් ඔතන සෙල්ලම් කරන්න නිකන්ම පුරුදු උනා,අනේ කඩේ අයිතිකාරයත් ඉක්මනින්ම ඕකට පුරුදු උනා,පොර කඩේ ලාච්චුවෙන් මාරු කාසි අරන් ඕකට ඔබනවා,දිනන මගුලක් නෑ, කොහොම හරි ලගදී ආරංචියක් ආවා කඩේ වෙන කාටද විකුනලා කියලා, ගහපු ජැක්පොට් ගැහිල්ලට ඒක එහෙම නොවී බෑ,කඩේට යන යන වෙලාවට රෝල් එකක් ඉල්ලන්න යන්න ඕනා ජැක්පොට් මැශින් ලගට,කොහොමත් මේ වෙද්දී ලාංකිකයෝ ගොඩක් අය, මම ඔය ඔට්‍ටු දාන තැන්වල,ජැක්පොට් මැශින් ලග දැකලා තියනවා නිරන්තරයෙන්ම, ඔය අතර අශ්ව රේස් සහ පුට්බෝල් තරග ඔට්‍ටු බහුතරය,පුට්බෝල් වලට ඔට්‍ටු ඇල්ලීමත් හොද දැනුමක් වගේම නිරන්තරයෙන්ම යුරෝපේ පුට්බෝල් ක්ලබ් වල තොරතුරු ගැන හොද අවධානයෙන් ඉන්න ඕනා.ඇත්තටම මම ඔය පුට්බෝල් ඔට්‍ටු අල්ලන කීපදෙනෙක් එක්ක ඔය ගැන කතා කරලා තියනවා,පිස්සු හැදෙනවා ලංකාවේ පලවෙනි අගමැති කවුද කියලා ඇහුවොත් උන් එකෙක් දන්නේ නෑ කවුද කියලා , ඒ උනාට මැන්චෙස්ටර් යුනයිටඩ්,බාසිලෝනා,ඉන්ටර්,මිලාන් ආසනල්,රෝමා වගේ පුට්බෝල් ක්ලබ් වල ක්‍රීඩකයන්ට වතුර අදින එකාගේ නම් පවා මේ කස්ටිය දන්නවා.
ඔන්න දවසක් මම ඔය අශ්ව රේස් ඔට්‍ටු අල්ලන තැනකින් යද්දී අපේ තාත්තගේ යාලුවෙක්ව හම්බුනා,මාත් ඉතින් කතා කරන්න ඔතන නැවතුනා,පොරත් අශ්වයෝ ඔස්තාර් කෙනෙක්,මාත් එක්ක කතා කරන ගමන් එතන ටීවී එකට ඔලුව දානවා, ඔට්‍ටු අල්ලලා රේස් එක පටන් ගන්නකන් බලන් ඉන්නවා කොහෙද දුවන රේස් එකක් ඔන්ලයින් යන්නයි ලෑස්තිය ඒකට පොර ඔට්‍ටු අල්ලලා,මට පොඩ්ඩක් ඔහොම ඉන්න කියලා පොර ගියා ඇතුලට, මමත් දැක්කා අශ්වයෝ දුවන්න පටන් ගත්තා,මටත් ආසාවක් ඇවිල්ලා මමත් ඕක කටත් ඇරගෙන බලන් හිටියා,,දැන් අර පොර උඩ පනිනවා ,පොරගේ අශ්වයා තමා මේ ඉස්සරහින් දුවන්නේ,කොහොම හරි මිනිහා කට කනේ තියන් එලියට ආවා රේස් එක ඉවර උනාම,තව ටිකකින් රිසල්ට් එනවා,ඔට්‍ටුවෙන් එයාට හම්බෙන ගානත් එක්කම කියලා,,ඔන්න ආයේ ගියා ඇතුලට බලාගෙන එන්නම් කියලා,,ඒ එක්කම ඇහුනා දඩාස් ගාලා කුනු බක්කියක් පෙරලෙනවා, බලද්දී අර පොර කුණු බක්කියට පයින් ගහලා,අනේ මිනිහගේ අශ්වයා දින්නට තරග නීති කඩකරලලු ,අසරනයා දුවද්දී කකුල යන රිද්මය වෙනස් කරලා,ඒ තරගේ කකුල යන රිද්මය වෙනස් කරන්න බෑලු,පොර එනවා අස්පයා මැරිච්ච ජොකියා වගේ මොකද සතියෙම පඩිය එතෙන්ට පූජා කරලා ඒ වෙද්දී පොර ඉදලා තියෙන්නේ.
මේ ඔන්න මම නම් මේ සූදුවට නෑ ඔන්න හරිය,, සමහර දවස් වලට ලොත‍රැයියක් සීරුවට,ලොටෝ එකක් මාක් කලාට වෙන දේවල් වලට නෑ,,හැබැයි මගේ බ්ලොග් එකේ මීට ඉස්සල්ලත් බූරුවා ගැසීම ගැන පෝස්ට් එකක් තියනවා, මම නාපෝලි සංචාරෙකට ගිය වෙලේ එහෙ ලාංකීය කෑම විකුනන කඩේක හරි අපූරු දැන්වීමක් දැක්කා ,අවාසනාවට මට ඒක පොඩි පොටෝ එකක් ගන්න බැරි උනා කඩේ සෙනග හිටිය නිසාත් ඕවා පොටෝ ගන්න ගිහින් ගුටි කන්න වෙයි කියලා ආපු බයට. ' 25 , 26 සහ 1 යන දිනයන්හී මෙම ස්ථානයේ කැටපොලක් පැවැත් වේ.' ඔන්න ඕක තමා කොම්පීතරෙන්ම වැදගත් විදිහට ලියලා ලස්සන බෝඩරයකුත් දාලා හදලා තිබුනු දැන්වීම. දන්නවා නේ ඔට්‍ටුවට කැට ගහන හැටි ඒකත් මරු සෙල්ලම.
අහලා තියනවද ලුණුවිල, පොල් පරීක්ශනාගාරය තියෙන්නේ එහෙ,වෙන්නප්පුව ආසනේ තමා ලුණුවිල කියන ගම,අපේ අල්ලපු ගමක් වෙනව ඕක,,ඔය ගම කාලයක් පොල් පරීක්ශනාගාරයට අමතරව තවත් ප්‍රසිද්ධියක් ගත්තා ලොකු සූදු පොලක් නිසා,එතන බූරුවා ගැසීම සහ කුකුල් පොර තමා තිබුනේ,අනිත් එක රජයේ අනුග්‍රහය ලබපු තැනක් මෙතන,ලොකු සල්ලි කාරයෝ තමා එතන ගැවසුනේ,පෙජරෝ,මොන්ටේරෝ,ප්‍රාඩෝ වගේ ලොකු වාහන තමා ඔතන තිබුනේ,ඔතන වෙනම සල්ලි පොලියට දෙන පොරකුත් හිටියලු,එතනම තමන් එන වාහනේ උගස් තියලා එතනම පැරදීල බස් එකේ ගෙදර ගිය මිනිස්සු ඕනා තරම් ලු.
කුකුල් පොර කියද්දී මතක් උනේ මාත් එක්ක වැඩ කලා පිලිප්පීන් කොල්ලෙක් පොර දවසක් කිවුවා ඒ රටේ කුකුල් පොර නීතිගත ක්‍රීඩාවක්ලු,මට වීඩියෝ වගයකුත් පෙන්නුවා,හයියෝ ක්‍රීඩා ගාර ඇතුලේ ඒවා වෙන්නේ,කුකුල්ලු ලේ පෙරාගෙන මැරිලා වැටෙනවා,කකුල් වල පොඩි පිහි හයි කරලයි ක්‍රීඩාව වෙන්නේ,,මම පොඩි වීඩියෝ එකක් හොයා ගත්තා මෙන්න,,,ඒත් ලේ පෙරාගෙන ඒවා නම් නෑ ඒ වගේ.


කොහොමත් මිනිස්සු මේ දේවල් වලට ගිහින් විහින් විනාශ වෙන එක තමා වෙන්නේ,තමන්ගේ ජීවිතේ පවා විනාශ කර ගත්තු මිනිස්සු ඉන්නවා සූදුව නිසා,ඒ වගේම කෝටිපතියෝ හිගන්නෝ වෙලා තියනවා සූදුවෙන්,,අර සක්විත්තත් සූදුවෙන්ලු නේ ඔය සේරම දේවල් උනේ.ලොත‍රැයියක් ඉදලා හිටලා සීරුවට මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ, ඒත් සූදුවට ඇබ්බැහි වීම කියන්නේ වෙනම හිතලා බලන්න ඕනා දෙයක්. සන්තානං මැණියනේ ඊයේ ලොටෝ වල තෑග්ග යූරෝම 7450000 දල වශයෙන් රුපියල් 150 වැඩි කරලා බලමු හොදයි කොහොමද රුපියල් වලින් කියලා මම නම් දන්නේ නැ ඕක සිංහලෙන් කියන්නවත්. මමත් මාක් කරන්න ඕනා ලබන සතියේ,, මී ඇස් දෙක පල්ලා මගේ බ්ලොග් එක පලෝ කරන සියල්ලන්ටම ඉන්දියාවෙන්ම ආනයනය කරලා මරුතිය බැගින් ලබා දෙනවා මේ ජය මල්ල දිනපු ගමන්.

Saturday, February 25, 2012

ඒක දඩුවමක්ද?


සරත් අයියා යුරෝපෙට ආවේ කොල්ලා කාලේ,ඇවිල්ලා චාටර් කාලා ජොබ් හොයාගෙන යම් ස්ථාවරයක හිටියා,යුරෝපේ කොහොමත් ඒ කාලේ සිංහල තරුන අවිවාහක ගැණු ළමයි ඉදලා නෑ, ඉදලා තියෙන්නේ සිංහලෙන්ම කිවුවොත් ඇන්ටිලා , ඇන්ටිලත් ඉතින් කොල්ලන්ගේ කරේ එල්ලෙන්නමයි බලන් ඉදලා තියෙන්නේ, සරත් අයියටත් ඔහොම ඇන්ටියෙක් සෙට් වෙලා, ඒ වෙනකොට සුද්දෙක් බැදලා පිට රටක පුරවැසිභාවය එහෙම අරගෙන ඉදලා තියෙන්නේ,, කොහොමත් ඒ කාලේ ඔය හික්කඩුව,බේරුවල,මීගමුව වගේ පැති වල හිටිය කෙල්ලෝ,ඇන්ටිලා පස්සේ වහ වැ‍ටුනු යුරෝපේ නාකි අර ගොල්ලන්ව බැදලා තමන්ගේ රටවල් වලට ගේනවා,නිකන්ම පුරවැසිභාවය, සමහරවිට යම් දේපලක් ඉතුරු කරලා මේ සුද්දෝ වලපල්ලට යනවා නැත්නම් අපේ ඈයෝ සුද්දන්ට බූට් එක තියලා මාරු වෙනවලු, ඒත් ලංකාවේ ඒ ප්‍රදේශ වල හිටිය පිරිමින්ට මේ චැන්ස් එක නෑලු , අහම්බෙන් සුද්දියෙක් සෙට් වෙලා ගිහින් පුරවැසිභාවය හම්බුනාට,ගොඩක් ගිය කොල්ලෝ ඉදලා තියෙන්නේ අනවසරයෙන් මේ රටවල, කොහොමහරි සරත් අයියට සෙට් උනු ඇන්ටිගේ සුද්දා ඒ වෙද්දී ඇන්ටිට යම් දේපලක් සල්ලියක් ඉතුරු කරලා වල කජ්ජ ගහලා ,ඉතින් තනියම හිටිය ඇන්ටිට සරත් අයියා සෙට් උනා ,සරත් අයිය මොකද කලේ අර ඇන්ටි එක්ක විවාහ නොවී ලිවින්ග් ‍ටු ගෙදර් ඉන්න ක්‍රමේට ලේසියෙන්ම කොලේ හදාගෙන පුරවැසිභාවයත් අරගත්තා.
සරත් අයියා යම් සල්ලියකුත් හම්බු කරගෙන ලංකාවට ගියා, ගෙදර දෙමව්පියෝ ඉතින් කපුවෙක් ලව්වා යෝජනාවකින් යම් කිසි දෑවැද්දකුත් එක්ක බ්‍රෑන්ඩ් නිව් කෙල්ලෙක් කසාද බැන්දා, කසාදෙන් පස්සේ අලුත් මනමාලිවත් අරගෙන ආයේ යුරෝපෙට එනවා, දෙන්න සතුටින් සමාදානෙන් විවාහ ජීවිතය ගෙනියනවා,පොඩි අවුලකට තියෙන්නේ සරත් අයියා අර ඇන්ටිව බලන්නත් සතියකට වරක් එක ‍රැයක් අර ගෙදරට යැම,මුල් මුල් කාලවල බිරින්දැට බොරු කියලා පැන්නට,ඉක්මනින්ම මෙයාගේ කනට මේ රහස එනවා, කොහොමත් මේවා හොයන කරන අය ලංකාවට වැඩිය මේ රටවල වැඩී කොහොමත්, පස්සේ සරත් අයියගේ පවුලට ළමයි දෙන්නෙකුත් එකතු වෙනවා,අහිංසක ගැණු කෙනෙක් උනු සරත් අයියගේ බිරිද සරත් අයියා සතියකට දවසක් ඇන්ටිගේ ගෙදර යන එක දැනගෙනත් පවුලේ ප්‍රශ්නයක් ඇති නොකරගෙන තමන්ගේ පවුල් ජීවිතය හොදින් ගෙනියනවා.
මේක සරත් අයියා ඉන්න ප්‍රදේශයේ ඉන්න ලංකාවේ අයට රහසක් නෙමේ සරත් අයියත් අර ඇන්ටිගේ ගෙදර යන එක හොරෙන් නෙමේ කලේ ප්‍රසිද්ධියෙම, සරත් අයියට කවුරුත් මේක කටක් ඇරලා නොකියන්න හේතුවක් තිබුනා එකක් මේ යුරෝපේ ගොඩක් ඔය කො‍ටු පනින වැඩේ හොරෙන් කෙරෙනවා ඕනා තරම් අනික සරත් අයියා කියන්නේ ඕනම කෙනෙක්ට අලුත් පරන ජාතිය නෙමේ ලාංකික කමට ඕනම උදව්වක් කරන කෙනෙක් ඒ වගේම ඒ උදව් වලින් සමහර විට හොද පරිප්පු කාපු කෙනෙක්, හරියට මිනිස්සු අදුනනවා ලෝකේ හැම රටකම වගේ ඉන්න දුප්පත් පෝසත් ලාංකිකයන්ව.
ඔහොම කාලේ යද්දී සරත් අයියා පවුල පිටින් ලංකාවට යනවා නත්තල් නිවාඩුවකට, ලංකාවෙදී සරත් අයියගේ ලොකු පුතා අවුරුදු 8යි , අසනීප වෙනවා කොටින්ම උණක් ගැනෙනවා, සතියක් විතර යනවා උණ බහින්නේ නෑ පස්සේ මෙයාල නවලෝක ස්පිරිතාලේ නවත්තනවා,ලංකාවේ මේ කාලේ ඩෙංගු රෝගයත් හැමතැනම නේ මුලදී මෙයාලත් එහෙම හිතනවා, රුධීර පරීකශන රාශියක් කලත් ඩොකාලා එක එක දේවල් කියනවා, මොකද්ද ලෙඩේ කියලා කියන්නේ නෑ, සරත් අයියා අදුනන දොස්තර කෙනෙක් සරත් අයියට කියන්නේ ළමයවත් අරගෙන ඉක්මනින්ම සරත් අයියලා ඉන්න රටට යන්න කියලා,නවලෝකේ දොස්තර කෙනෙක් සරත් අයියට කියනවා පොඩි එකාට ලියුකේමියා තත්වයක් වගේ තියෙන්නේ කියලා, සරත් අයියගේ ඔලුව ගිනි ගන්නේ ඒක අහපුවම,සරත් අයියා කියන්නේ ලංකාවේ සෑහෙන තරමකට ඉගෙන ගත්තු කෙනෙක් එයා මේ රෝග ගැනත් යම් පමනකට දන්නවා, නවලෝකෙන් පොඩ්ඩක් ළමයව දෙන එක පරක්කු කරනවා කොහොමත් ලංකාවේ ගොඩක් පුද්ගලික රෝහල්වල හැටියක් නෙ ඒක,සරත් අයියා මොකද කරන්නේ ඉක්මනින් එයා ටිකට් එක එදාම දාගෙන,එයා හිතවත් ලංකාවේ ඉහළ හමුදා නිලධාරියෙක් ලව්වා ළමයව ස්පිරිතාලෙන් එලියට අරගෙන ගුවන් තො‍ටුපලින් පිටවෙනවා ළමයා රෝගී තත්වයෙන් ඉද්දිම, යම් රෝගී තත්වයක් තියනවා නම් ගුවන් යානා වල මගියෙක්ව ගන්නේ නෑ නේ, කොහොමහරි සරත් අයියලාට කරදරයක් වෙනවා වෙනත් ගුවන් යානාවකට මාරු වීමීදී ළමයගේ රෝගී තත්වය දකින ඒ ගුවන් තො‍ටුපලේ අය මෙයාලව තියා ගන්නවා,එතනින් ඒ රටේ රෝහලකට දානවා ,ඒ රෝහලෙ සතියක් විතර යද්දී කියනවා මේ ළමයට ලියුකේමියා රෝගය තියෙන්නේ කියලා, පස්සේ සරත් අයියල ඉන්න රටේ එයාලගේ ජීවිත රක්ශන නිසා ඒ රටෙන් රෝගීන් ගෙනියන ඇම්බියුලන්ස් ජෙට් යානයක් යොදගෙන සරත් අයියලා පදිංචි රටට එනවා කෙලින්ම යන්නේ රෝහලටමයි ළමයව අරගෙන දැන් ඉතින් රෝගය ස්තීරයි ලියුකේමියාව කියලා, සරත් අයියා හදුනන ලාංකිකයෝ ළමයා වෙනුවෙන් නොයෙක් නොයෙක් ආගමික වතාවත් කරනවා ,උපදෙස් දෙනවා අරක මේක,
ඔය අතරදී සමහර ලාංකිකයෝ පුදුම කතාවක් ප්‍රචාරය කරනවා සරත් අයියගේ ළමයට අරවගේ රෝගයක් ආවේ සරත් අයියා ප්‍රසිද්ධියේ කරපු වැ‍රැද්දට් ,තමන්ගේ බිරිද ඉද්දී වෙනින් ගෑනියෙක් එක්ක තිබ්බ සම්බන්දයට, එයාට පව් සමා කර ගන්න කියනවා එයා ඇත්තටම මානසිකව උනත් ගොඩක් වැටෙනවා මේ නිසාම එයා ඇත්තටම අර අනියම් සම්බන්ධය අත් අරිනවා.
අනේ මන්දා සරත් අයියා ප්‍රසිද්ධියේ කරපු හින්දා ඒක වරදක් උනාද මොකද ඒ වගේ සම්බන්ද කම් මිනිස්සු මොනතරම් හොරෙන් කරනවද,අනික සරත් අයියා කරපු වරදට ඒ ළමයගෙන් දෙවියෝ පලි ගනීද? ඒ අස්සෙන් තව අය කියන්නේ ඒ ළමයා ඉහත ආත්මයක කරපු වරදක් මේ ආත්මෙදී පටිසන් දීලා
කාගෙද වැරද්ද කියලා මට නම් තේරෙන්නේ නැ,, මට නම් තේරෙන්නේ අර පොඩි එකා සෑහෙන්න දුක් විදිනවා ලියුකේමියා රෝගයෙන්....

Wednesday, February 8, 2012

ඔන්න මමත් 50 ට ආවා...


ඉදලා ඉදලා මටත් පුලුවන් උනා 50 වෙනි පෝස්ට් එක ලියන්න, අවුරුදු 2010 අප්‍රියෙල් 14 වෙනිදා පටන් ගත්තු ඉබි ගමනින් ආපු මගේ බ්ලොග් ගමන අද 50 පෝස්ට් එකටත් ආවා, මේක ලියන්නත් මාර නෝන්ඩිය ඇයි දෙයියනේ පෝස්ට් 50 ලියා ගන්න ගිය කාලය දිහා බලද්දි, සික් අවුරුදු 2ට ඔන්න මෙන්න,එක අතකින් සතු‍ටුයි මෙච්චර කාලයක් හරි මේ බ්ලොග් අවකාශයේ ‍රැදී ඉන්න පුලුවන් උනා නේ, අදත් මහා ලොකු දෙයක් ලියන්න දෙයක් නෑ ඔන්න.
HI5,TAGGED,එලකිරි,කපුටා චැට් බොක්ස්,පේස්බුක් වලින් ආපු මගේ ඉන්ටර්නෙට් ගමනෙ මේ වෙද්දී බ්ලොග් වල නැවතිලා,ඒ කියන්නේ ජීමේල් වල කිවුවොත් හරි.මේ බ්ලොග් හින්දම අදුන ගත්තු යාලුවො බොහොමයි,මේක හින්දම ජීවිතේ ලොකු විශේස වෙනසකුත් වෙලා මේ වෙද්දී, බ්ලොග් හින්දම පහු ගිය කාලෙම ගූගල් බස් පැද්දා ඒක නම් ලොකු අත්දැකීමක් උනා,මට බ්ලොග් අවකාශයේ මිතුරන් අදුනා ගන්න පුලුවන් උනේ මේ බස් පැදිල්ල තමා, බස් පදින්න ආවත් කාලයක් යනකන් ගොඩක් අය මම බ්ලොග් එකක් ලියනවද කියලවත් දැනගෙන හිටියෙම නැ,එකක් මම කිසිම තැනක මගේ බ්ලොග් එකේ ඇඩ් එකක්වත් දාලා නැති නිසා, කාලෙකට ඉස්සල්ලා මාරයගේ හෝරාව ලියන මාරයියා ගූගල් බස් හරහා තියපු බ්ලොග් පෝස්ට් සතියක් හින්දා ඒ වෙලාවේ ඒකට මාත් පෝස්ට් එකක් ලියලා දුන්නා,,එදා තමා ගොඩක් අය මම බ්ලොග් එකක් කරනවා කියලත් දැන ගත්තේ,පස්සේ මේ ලගදී Il Mondo di Una Povera Pazza ලියන රංගි අක්කා එයාගේ පේස්බුක් පි‍ටුවේ මගේ පෝස්ට් එකක ලින්ක් එක දාලා තිබුනා,ඒ තමා මගේ බ්ලොග් ලින්ක් එක එලියේ තියනවා දැකපු අවස්තා, මේකට හේතුව මම ලියනවට වඩා කියවන්නෙක් වීම කමෙන්ට් නොකලත් මම ගොඩක් බ්ලොග් කියවන කෙනෙක්, 2009 මම ගෙදර විවේක ගත්තු කාලේ අහම්බෙන් මට අහු උනු සිංහල බ්ලොගර්ස් සිංඩිය හින්දා මම බ්ලොග් කියන්නේ මොකද්ද කියලා දැනගත්තා,පස්සේ එතන තිබුනු බ්ලොග් කියවන්න අරගත්තා, ඒ කාලේ තිබුනු බ්ලොග් නම් ගොඩක් මේ වෙද්දි අක්‍රිය වෙලා,ඒ කාලේ බ්ලොග් ලියපු කීප දෙනෙක් නම් බස් වලින් අදුනා ගෙන ඉන්නවා,සික් ඒ කාලේ මම කමෙන්ට් කලෙත් නෑ ඕකුන්ගේ බ්ලොග් වලට මොකද පොඩි බයක් තිබුනා, මම හිතන් හිටියේ උන් ලංකාවේ ඉන්න සුපිරි පරිඝනක වැඩකරුවෝ කියලා,ලොකු පොරවල් කියලා ඔහොම ඉද්දී තමා බ්ලොග් වලින්ම සමහර අය තමන්ගේ පුද්ගලික කතා ලියද්දී ඒවා බලලා පොඩ්ඩක් බය ගියේ කමෙන්ට් කරන්න හිතුවේ,පස්සේ ඉතින් ගූගල් බස් පදින්න ගිහින් තමා මම මහා ලොකු මිනිස්සු කියලා හිතන් හිටිය උනුත් මම වගේම බලු කුක්කෝ ටිකක් කියලා දැනගත්තේ, සික් මම මුන්ටනේ බය වෙලා හිටියේ කියලා හිතුනේ. අද වෙනකොට ඒ මගේ අන්තර්ජාල ගමනේ ලස්සනම කාලය උනු බස් පැදිල්ල නම් ඉවර වෙලා පොඩ්ඩක් ඉතුරු වෙලා ප්ලස් පෑදිල්ල හින්දා, බ්ලොග් කියවිල්ල,ලිවිල්ල විතරක් ඉතුරු වෙලා,පේස්බුක් ඉන්නෙත් ගොඩක්ම මෙතනෛන් අදුන ගත්තු උන් එතනත් ඉන්න නිසාම, එකම දුකක් තියෙන්නේ මෙච්චර කාලයක් මෙතන හිටියට තාමත් මට මේ අදුන ගත්තු එකම කෙනෙක්වවත් මුන ගැහෙන්න බැරි උනා. ඕක තමා මගේ බ්ලොග් ඉතිහාසය සහ වර්තමානය.
නම් වශයෙන් ස්තූතී කරන්න ගියොත් මේ පෝස්ට් එක ලියන්න මට එපා වෙයි ඒක හින්දා මගේ බ්ලොග් එක බලන්න ආපු,කමෙන්ට් කරපු සේරමන්ටම ගොඩක් ස්තූතී, මම මේ වෙලාවේ ස්තූතී කරන්නේ ආයේ 100 පෝස්ට් එක ලියන්න කොච්චර කාලයක් යයිද දන්නේ නෑ,හැබැයි පුලුවන් කාලයක් මම මේ බ්ලොග් අවකාශයේ ‍රැදී ඉන්නවා,දැන් මේක දාලා යන්න බැරි හේතුවකුත් තියන හින්දම, ඉදිරියටත් මම ඔයාලගේ බ්ලොග් පෝස්ට් වලට පුලුවන් පුලුවන් හැටියට කමෙන්ට් කරන්න ඒවි, කමෙන්ට් නොකලත් සිංඩි 3කම තියන බ්ලොග් පෝස්ට් එකක් නෑර මම කියවනවා, කාලයක් මම රෑ වැඩ කරලා ඇවිත් පාන්දර 3,4 වෙනකන් බ්ලොග් කියෝලා තියනවා,එතකොට උදේ ලංකාවේ ගූගල් බස් දවසේ ආරම්භය ගන්න ආපු අය එක්ක චැට් කරලම යන්නත් පුලුවන් උනා. ලස්සන මතකයන් රාශියක් එක් කරපු බ්ලොග් අවකාශයේ තවත් කාලයක් ඔයාලත් එක්ක ‍රැදෙන පොරොන්දුව උඩ,ඔන්න මගේ 50.