Pages

Sunday, January 12, 2014

උණ්ඩයෙන් අවසන් වූ තුන්කොන් ආදරය



මීට වසර 5 විතර ඉස්සර ජනවාරි මාසයම තමා,මම ‍රැකියාව කරපු ස්ථානය අසලින් එක පෙලට ගියේ ඉතාලියේ තිබෙන පොලිස් දෙපාර්තුමේන්තු දෙකක පොලිස් කාර්,ඒ පසු පසින් ගිණි නිවන රථයක්,ඒ පසු පසින් ගිලන් රථ කීපයක්.පලාතම හොල්ලගෙන ඉතා වේගයෙන් සයිරන් නළා ගහගෙන හරියට බෝම්බයක් පුපුරලා වගේ.ඒ අවට මිනිස්සුත් පාරට බැස්සේ මොකද්ද මේ යුද්දේ කියලා බලන්න,මමත් ඔලුව දාලා බැලුවා ඒත් හරි තොරතුරක් ආවේ නෑ,ඒවා ගියේ මම උන්නු ස්ථානයේ ඉදලා 500 මීටර් විතර දුරකින් තිබුනු ස්ථානයකට.මමත් ඒ ටිකකින් වැඩ ඉවර වෙලා ගෙදර ගියා,පසු දින පත්තරෙන් සහ ‍රැකියාව කරපු ස්ථානයෙන් මට තොරතුරු හම්බුනා. ඒ සිදු වුනු සිදුවීම.
ලොක්කා කඩවසම් කොල්ලෙක්,සුද්දිත් පිරිමියෙක්ට ඉස්සරහිනුත් බලලා පස්ස හැරිලත් බලන්න හිතෙන ඉටිකිරිස් කෙල්ලක්,දෙන්නා කෙටි කලකින්ම ප්‍රේමවන්තයෝ දෙන්නෙක් බවට පත් උනා,මල් උයනේ බංකු වල,චිත්‍රපට ශාලාවේ දෙන්නගේ ආදරය නැගලම ගිහින් තිබුනා,කෑම මේසේ,තේ මේසේ මේ දෙන්නව අත් දෙක පටලාගෙන ඉන්න දසුන නිරන්තරයෙන්ම අනෙක් කොල්ලෝ කෙල්ලන්ට දකින්න ලැබුනා.හරියට රෝමියෝ ජුලියට් වගේ තද ලව් එකක්.
දෙන්නගේ ආදරය කෙටි කලක් මෙහෙම යනකොට මේ දෙන්නගේ ආදරය මැද්දට තව එකෙක් කඩා පාත් වෙනවා,,ඒ පොඩ්ඩා,පොඩ්ඩා ලොක්කට වඩා කඩවසම් හරියට හොලිවූඩ් නලුවෙක් වගේ පොරක්,වැඩි දවසක් යන්නෙ නෑ,පොඩ්ඩට සුද්දි ගැන හිතක් පහල වෙනවා,පොඩ්ඩා අර දෙන්නගේ ආදරය දැන දැනම සුද්දි පස්සේ යන්න ගන්නවා,පොර බැහැලම ට්‍රයි එක සුද්දිගෙ ආදරය ලබා ගන්න,වැඩි දවසක් යන්නේ නෑ ලොක්කට මීටර් වෙනවා පොඩ්ඩා සුද්දී පස්සෙ පන්නනවා කියලා,කීප වරක්ම ලොක්කා පොඩ්ඩට අනතුරු අගවනවා සින්කොන් එකෙන් අයින් වෙයන් කියලා,ඒත් සුද්දිගෙ ලස්සනට වශී උනු පොඩ්ඩා නෙමේ පරාජය බාර අරගෙන සීන් එකෙන් අයින් වෙන්නේ.පොඩ්ඩත් සුද්දිගෙ පස්සෙන්මයි,සුද්දි යන යන තැන් වල පොඩ්ඩත් පස්සෙන්.
කෙමෙන් කෙමෙන් සුද්දිගෙ හිතත් හිමීට පොඩ්ඩා දිහාවට ඇදෙන්න අරගෙන,මොකද පොඩ්ඩට සුද්දිගෙ ආසන්න වයසෙමයි,අනෙක ඉතා කඩවසම් පෙනුමක් පොඩ්ඩට තියෙන්නේ,ලොක්කා එහෙම හැන්ඩියෙක් නෙමේ.සුද්දිගෙ හිතත් පොඩ්ඩ පොඩ්ඩ කාන්දමට ඇදෙනවා වගේ පොඩ්ඩා දිහාවට යන්න අරගෙන,ටිකෙන් ටික ලොක්කව මග අරින්නත් අරගන්නවා,ලොක්කා ඉන්නේ දැන් අසූ හාරදාහට තද වෙලා,ලොක්කගේ ඉවසීමේ සීමාවත් පනිනවා මොකද අර දෙන්නගේ ලව් එක පටන් අරගෙන,,.වැඩි දවසක් යන්නේ නෑ ලොක්කව සුද්දි අතාරිනවා,අනික් එක ලොක්කට අනෙක් කස්ටිය ඉස්සරහා මේකට ලැජ්ජයි.
ලොක්කා අවසන් තීරනේට යනවා,පිස්තෝලය අරගෙන මේ වතාවේ පොඩ්ඩා ලගට කිට්‍ටු වෙන්නේ,පාක් එකේදිම පොඩ්ඩව අහු වෙනවා,අවට තවත් මිතුරන් පිරිසකුත් ඉදලා තියනවා,පොඩි බහින් බස් වීමක් එක්කම ලොක්කා පොඩ්ඩගේ අවසානය සටහන් කරනවා, වෙඩි උණ්ඩ කීපයකින්,ඒ එක්කම ඉතුරු වෙඩි උණ්ඩ ලොක්කගේ අවසානය,ලොක්කත් සිය දිවි නසා ගන්නවා.ඔන්න ඔහොම තුන්කොන් ආදරයක අවසානය සනි‍ටුහන් වෙනවා.වෙඩි උණ්ඩ කීපයකින්.
මේ පුවත අහපුවම මට බඩ අල්ලගෙන හිනා ගියා,ඒ මොකද කියනවා නම් ලොක්කට ඒ වෙද්දි වයස86,සුද්දිට 80 ,පොඩ්ඩට 82,මේ අය ජීවත් උනේ වැඩිහිටි නිවාස සංකීර්ණයක,එතන වැඩිහිටි නිවාස වලට අමතරව සියලු සැප පහසුකම් තියන තැනක්,මල් උද්්‍යාන,චිත්‍රපට ශාලා,නාට්ය ශාල,පල්ලි වගේ සියලුම දේ තියන වැඩිහිටියන්ගේ පොඩි ගම්මානයක්.මේ ගම්මානේ ඇති උනු පොඩි ආදර කතාවක අවසානය තමා මම අර උඩ ලිවුවේ.අර පොලිස් කාර්,ගිලන් රථ එදා මෙතෙන්ට ගියේ අර වෙඩි තැබීම නිසා.මෙතන ඉන්නේ ජීවිතේ සැදෑ සමය ගෙවන මහළු අය,ගොඩක් අයට කාත් කවුරුත් නෑ,තමන්ගේ පෙන්ශන් එක නිසා මේ නිවාසෙට පොඩි මුදලක් ගෙවලා මෙතන පදිංචියට ආපු අය,තවත් අය තමන්ට දරුවෝ උන්නත්,තනිකම පාලුව නිසා තමන්ගේ වයසේ අය එක්ක ගත කරන්න ආසාවෙන් ආපු අය.එහෙම මෙතන උන්නු 3ක් තමා ලොක්කා,සුද්දි,පොඩ්ඩා,තමාගේ ආදරවන්තියව නැති වීමෙන් හිතට ආපු ආවේගය නිසා,ලොක්කා අර විදිහට මේ කතාව අවසන් කලා.ආදරයට වයසක් නෑ සීමාවක් නැ.
(මේ අයට මම ලොක්කා,පොඩ්ඩා,සුද්දි කියලා නම් යෙදුවේ ඒ අයගේ නම් මට මතක නැති නිසා,මට මේක මතක් උනේ අද පාක් එකේ උන්නු අත් පටලවගෙන ආදරයෙන් උන්නු ඉතා වයසක ජෝඩුවක්  දැක්කට පස්සෙ)