Pages

Monday, April 21, 2014

වැඩිම දිවි නසා ගැනීමේ වාර්තාව තාමත් අපටද?


මේ ලිපිය ලංකාවේ සිදු වන සිය දිවි නසා ගැනීම් ගැන නෙමේ,,ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දිවිනසා ගැනීම් ගැන,අද ඉතාලියේ ලාංකිකයින් ලක්ශ 3ක් විතර වාසය කරනවා,කොහොමත් යම් ‍රැකියා ප්‍රශ්නයක් පොදුවේ ඉතාලිය තුල පවතින බව රහසක් නෙමේ,ඒක දැඩිව ඉතාලියේ සිටින සියලුම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා.මිනිස්සු දිවිනසා ගන්නත් පෙලබිලා,ඒ අතරින් අපේ ලාංකිකයින්ගේ දිවිනසා ගැනීමේ ප්‍රමානය ඉතා වැඩි වෙලා තියනවා පහු ගිය වසරේ සිටම,අපි ජාතියක් වශයෙන් කොහොමත් පොඩ්ඩ බැරි වෙද්දී දිවිනසා ගන්නම බලන ජාතියක් නිසා මේ රටේදිත් අර පුරුද්දම ඉස්මතු වෙලා.
පහු ගිය වසරේ ඉදලා මා සිටින නගරයේ පමනක් ලාංකිකයින් 8ක්,9ක් ප්‍රමානයක් දිවි නසා ගත්තා,තමන්ගේ නිවස තුලම එල්ලිලා මැරුනු සිද්දි වාර්තා උනේ.ඒ අතරින් බහුතර ප්‍රමානය පිරිමින්,වයස 17ක විතර ගැණු ළමයෙකුත් ඒ අතර ඉන්නවා.
මේ සිදුවීම් වල පසුබිම බලනකොට ඇත්තටම හිනා යනවා,අනෙක් ජාතීන් දිවිනසා ගන්නෙ බහුතරය අධික ආර්ථික ප්‍රශ්න,‍රැකියා ප්‍රශ්න වලින් හට ගත් අරබුද වගේ ඒවට,ඒත් අපේ අය බහුතරය එල්ලිලා තියෙන්නේ ආදර ප්‍රශ්න සහ සැමියා බිරිද පවුල් ප්‍රශ්න වලට,
මේ අතරින් බහුතරය වයස 40-50 අය වැඩි පුර,ඒ අතරින් පහු ගිය වසරේ තරුනයෙක් එල්ලිලා මැරුනේ තමන්ගේ ලංකාවේ සිටින බිරිද වෙන පිරිමියෙක් සමග ගිහින් කියලා.ඒ තරුනයට වයස 30 ආසන්න කෙනෙක්,ඇත්තටම ගැණි වෙන මිනිහෙක් එක්ක ගියා කියලා දිවිනසා ගන්න ඕනද,වෙන ගැණියෙක් හොයා ගන්නවා මිසක්.

අර ගැණු ළමය දිවිනසා ගන්න හේතුව උනේ ආදර සම්බන්දතාවයකදී ගෙදරින් සිදු කරපු විකාර වැඩ වලට,එතනදී ඇත්තටම ඒ ළමයගේ දෙමව්පියන් තරුන දරුවෙක්ගේ ආදර ප්‍රශ්න වලදී බුද්ධිමත්ව හැසිරුනා නම් ඒ දරුවගේ ජීවිතය එසේ නිම නොවෙන්න ඉඩ තිබුනා.
මැදිවයසේ කීප දෙනෙක්ම දිවිනසා ගන්න හේතුව විදිහට උනේ තමන්ගේ බිරිදගේ අනියම් සබදතා,සමහර අවස්තාවලදී වෙන පිරිමින් සමග ඉද්දී අතටම අහු වෙලා ඒවා දරා ගන්න බැරිව දිවිනසා ගත්තු අවස්තා,කොහොමත් මෙහෙට එන බොහෝ මැදිවියේ ජෝඩු මුහුනදෙන ලොකුම ප්‍රශ්නෙ තමා,බිරින්දෑවරුන් ඉතා ඉක්මනින් හැඩ වැඩ වී තරුන වෙලා තරුන කොලුවෙක් සමග සෙට් වීම,,අර සැමියලා ලංකාවෙන් ආපු විදිහටම වැඩ කරගෙන,බයියලා වගේ ඉන්න එක,,ඉතා ඉක්මනින් බිරින්දෑවරුන්ට තමන්ගේ සැමියව එපා වීම,ඒත් ඉතින් මේ සැමියලත් මොකට එල්ලෙනවද මන්දා යන උන්ට යන්න දෙන්නෙ නැතුව.
මේ රටේදී දිවිනසා ගෙන  සිරුරු ලංකාවට යවන්නත් යූරෝ 5000 වගේ ආසන්න මුදලක් වියදම් වෙනවා,ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් එක පැත්තකින්,මොකද සිරුරු ලංකාවට යවන්න සල්ලි හොයන්න ආධාර එකතු කර ගන්නවා,යම් මුදලක් කරිටාස් ආයතනයෙන් දෙනව,ඒත් ලගක ඉදන් කරිටාස් ආයතනයෙන්ම කියලා තියනවා,උබලගේ රටේ මිනිස්සු දිවිනසා ගන්න හැටියට මුදල් දෙන්න විදිහක් නෑ ඒ දෙන මුදල් වලින් කරිටාස් ආයතනයට කන්න නැති මිනිස්සුන්ට සෑහෙන දවසක් කන්න දෙන්න පුලුවන් කියලා.

මේ එල්ලුනු කෙනෙක් එක වතාවක්,එල්ලෙන්න ලියුපු ලියුමත් එක්ක සිරුර යවන්න කියලා යූරෝ 5000 මුදලක් තබලම දිවිනසාගෙන තිබුනා. එක අතකින් මෙහෙම සල්ලි වියදම් කරලා සිරුරු යවන එක මොන මෝඩ වැඩක්ද කියලත් හිතෙනවා,එක්කෝ සිරුරු ආදාහනය කරලා අළු යවන්න ඕනා,
අවසන් වතාවට දිවිනසා ගත්තු පුද්ගලයගේ කතාවත් ගොඩක් අවාසනාවන්තයි,,ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදුනු කෙනෙක්,යම් තත්වෙකින් ජීවත් වෙලා තියනවා,ඒත් ණය වෙලා ඉතාලියට ඇවිත් තියනවා,මෙහෙට ආවට පස්සේ හරි හමන් ‍රැකියාවක් සෙට් වෙලත් නෑ,කරපු සුළු ‍රැකියාවෙත් වැ‍ටුප් හරියට ලැබිලා නෑ ,අර ණය ඩබල් වෙලා තියනවා,‍රැකියා ප්‍රශ්නයි,ආර්ථික ප්‍රශ්නයි එක්ක මේ කෙනා ඒ වෙලාව දැඩි පීඩනේකින් ඉදලා තියෙන්නේ,අර ‍රැකියා කරපු ස්ථානෙදිම දිවිනසාගෙන තිබුනා,අවසානෙදී සල්ලි හම්බු කරන්න ඇවිත් සියලුම සේසතම නැති කරගෙන,තමන්ගේ බිරිද දරුවන්වත් අනාථ කරලා ජීවිතයෙනුත් සමු ගත්ත එකයි උනේ.බොහොම අවාසනාවන්ත සිදුවීමක් මේ සිද්ධියත්.
ඇත්තටම කෙනෙක් දිවිනසා ගෙන ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතුවට එයාලා ප්‍රශ්න රාශියක් ඉතුරු කරලයි ජීවිතයෙන් පැනලා යන්නේ.මිනිස්සු තම්න්ගේ ජීව්තේ වටිනාකම තේරුම් අරගෙන මේ වගේ මෝඩ තීරන ගන්න ඉක්මන් වෙන එක කවදා නවතීද,මේ අපේ මිනිස්සුන්ගේ දිවි නසා ගැනීමේ රෙකෝඩ් එක අඩු වේවා කියලා ප්‍රර්ථනයක් එක් කරනවා.

Sunday, April 13, 2014

ශත 25 සහ රුපියල




                             (බස් රේඩියෝ සාමාජිකයෙක් ලෙස බස් රේඩියෝව වෙනුවෙන් මෙය එකතු කර ගත්තා)
මුලින්ම ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුම දෙනාට වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ එක්කම අද මගේ බ්ලොගේ 4 වෙනි උපන් දිනෙත් වෙනවා,,මෙච්චර කාලයක් නිකමට හරි මගේ බ්ලොගට ගොඩ වුනු සියලු දෙනාට ස්තූතීය පුද කරනවා.
මගේ බ්ලොගට ආපු පරන අය දන්නවා ඇති මට තියනවා විනෝදාංශයක් ලෝකෙ මුදල් නෝට්‍ටු එකතු කිරීම,,ඉතින් ඒ එක්කම ලංකාවෙ මුදල් නෝට්‍ටුත් එකතු කරනවා,ඒ අතරින් මම ආසා කරන දෙයක් තමා අපේ රටේ පැරනි මුදල් නෝට්‍ටු එකතු කිරීම,කොටින්ම යම් යම් අවස්තා වල මුදලට මිලද ගැනීම් පවා කරනවා,යම් මුදල් නෝට්‍ටු විකුනන තැනක් ඇස ගැ‍ටුනොත්.
ලගදී මට අහම්බෙන් අන්තර්ජාලෙන් සහ මුදල් නෝට්‍ටු විකුනන්නෙක්ගෙන් ලංකාවෙ පැරනි මුදල් නෝට්‍ටු 3ක් මිලදී ගන්න පුලුවන් උනා,මේ මුදල් නෝට්‍ටු 3 තිබුනේ ඉතාලි ජාතිකයන් සන්තකයේ,යම් සාධාරන මිලකට මේ නෝට්‍ටු මිලදී ගන්න පුලුවන් උනා.ලංකවෙදිවත් මිලදී ගන්න අමාරු වෙන මුදල් නෝට්‍ටු දෙකක් අහු උනා ඒ 1949 නිකුත් කරපු රුපියලේ සහ සත 25 නෝට්‍ටු දෙක.ඉතින් මේ අවුරුදු දවසේ මම මේ මිලදී ගත්තු මුදල් නෝට්‍ටු 3 මගේ බ්ලොගට දාන්න හිතුවා.මේ තියෙන්නෙ ඒවා


                                      (රුපියලේ ඉදිරිපස ඉන්නෙ 6 ජෝර්ජ් උත්තමයා,48 අපිට නිදහස හම්බුනා කිවුවට 49 ජෝර්ජ් උත්තමයා මුදල් නෝට්ටු වල ඉදලා තියෙන්නෙ)
                                         (පසුපසට නම් ඇත්ගොව්වෙක් එක්ක අලියෙක් ඉන්නවා)

(මේ සත 25 මේකෙත් තියෙන්නෙ ජෝර්ජ් උත්තමයගේ මූනත් තහඩුවම තමා,,මේ නෝට්ටුවේ විශේසත්වය පසු පස නෝට්ටුවේ අxකය පමනයි තියෙන්නේ,සුදු පසුබිමේ)
මේ මුදල් නෝට්ටු දෙකම ඉතාමත් හොද තත්වයේ තියෙනවා,අපේ අයගේ මුදල් පරිහරනය ගැන දුක හිතෙනවා ඒවා විනාශ වෙන හෑටි බලනකොට,,ඒ අතින් යුරෝපා ජාතිකයන්ගේ මුදල් නෝට්ටු පරිහරනය ඉතා සුරක්ශිතයි,නෝට්ටු විනාශවීම ඉතා අවම මට්ටමක තියෙන්නේ,,ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා අවසන් වශයෙන්,මුදල් නෝට්ටු පාවිච්චි කරනකොට පරිසමින් නවන්නේ නැතුව පිලිවෙලකට පාවිච්චි කරන්න පුරුදු වෙන්න.

 අවසන් නෝට්ටුව නම් ඔයාලා දැකලා ඇත්හි ගොඩක් අය



Sunday, February 2, 2014

රට පනින හෙළ යක්කු


අපේ රටේ කෝටි 33 ක් දෙයිවරු ඉන්නවා කිවුවට ඕකෙන් වැඩි හරියක් ඉන්න ප්‍රසන්න පෙනුමක් තියන දෙයිවරු නෙමේ,, ඉන්න තරමක් ඉන්නේ යක්කු නේ,අනික් එක පොඩ්ඩ බැරි වෙන්න බෑ ඕකුන් මේ යහතින් ඉන්න මිනිස්සුන්ට වැහෙනවා,වැහිලත් නිකන් ඉන්න දෙන්නෙත් නෑ,දැන් ලංකාවෙදි යක්කු වැහෙනවා මදිවට මුන් අපේ මිනිස්සුන්ගෙ පස්සෙන් ඉතාලියට ඇවිල්ලා, එහෙ ඉන්න දෙන්නෙත් නෑ මෙහෙ ඉන්න දෙන්නෙත් නෑ, ශරීර කූඩු වලට රිංගන්නමයි බලන්නෙ.කොහොම එනවද මන්දා බෝට්‍ටු එන්නෙත් නැති එකේ හොර පාස්පෝට් හදාගෙන එනවා වගේ.යක්කුන්ට ඇටෑක් කරන්න දේවාලත් පටන් අරගෙන තියෙන්නේ,මම කාලෙකට කලින් එහෙම දේවලයක් ගැනත් ලිවුවා,,,ඒ එක්කම කේන්දරකාරයොත් වැහි වැහැලා,ඒ මදිවට ධනාත්මක චින්තන කාරයොත් බැහැලා,
අපේ මිනිස්සුන්ට නොයෙක් නොයෙක් ප්‍රශ්න එනකොට දේවාල,කේන්දරකාරයෝ පස්සෙ දුවන එක පුරුද්දක් නේ,ඉතාලියෙ හොද ආර්ථිකයක් තිබුනු කාලේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබුනේ නෑ,දැන් ඉතාලියේ ආර්ථිකය වැටිලා නිසා ඒක අපේ අයටත් බලපාලා ඉතින් ප්‍රශ්න,අපේ අය ඒවට විසදුම ගන්නේ අර ක්‍රම වලින් නිසා,,ඒවට විසදුම් දෙන්නත් කස්ටිය බහින්න අරගෙන ඉතාලියට,,අර ඉතාලියේ ඉදන් කරන සැටලයිට් චැනල් කාරයොත් මේ කස්ටියව මාකට් කරනවා හෝ ගාලා,කතරගම දෙයියෝ වඩිනවා කියපු මංජුල පීරිස්,ගංගා සුදර්ශනී කියලා අයියනායක දෙයියන්ගෙන් උදව් අරන් දෙන කෙනෙක්,තව කේන්දරකාරයෝ කීප ගොල්ලක්ම ඉන්නවා,,තව මහා භද්‍රකාලි මෑනියන්ගෙ ඉතාලි නියෝජිත ගැණු කෙනෙක් එහෙමත් ඉන්නවා,ඒ අතර අපේ අයගේ ධනාත්මක චින්තනය වැඩි දියුනු කරන්න මනස ගොයියත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ.
මේකයි මේ කස්ටිය ඇවිල්ලා ඉන්නෙත් අපේ අයට යක්කු වැහෙනවා නේ ඒවට ඉතාලියෙ බෙහෙත් නෑ,මේ ලගදි මම අදුනන ඉතාලි ගැණු කෙනෙක් හම්බුනා,එයා කියපු කතාවට එයාටත් හිනා මටත් හිනා,එයාගෙ ගේ ලග අපේ රටේ ගෑනු කෙනෙක් වැඩ කරනවා,ආච්චි කෙනෙක් බලා ගන්න එක කරන්නේ,ඉතින් මම අදුනන කෙනා හිටි ගමන් අරයා ගැනත් මතක් කරනවා,,ලගදි හම්බුනු වෙලේ ඔන්න කියපි,දවසක් උදේ පාන්දර අර අපේ ගෑනු කෙනා ඉතාලි ගෑනු කෙනාගේ ගෙදරට දුවන් ආවලු,කොන්ඩෙ කඩාගෙන ,මේ සීත කාලෙ දාඩියත් පෙරාගෙන හොදටම බය වෙලා, ආවා මදිවට කලන්තේ දාලත් එක්ක පු‍ටුව උඩම. පස්සේ වතුර ඉහලා සිහිය අරගෙන,,මොකෝ උනේ කියලා අහනකොට අර වැඩ කරන ගෙදර යකෙක් ඉන්නවා කියලා,පස්සෙ අපේ ගෑනු කෙනා කතා කරන්නෙත් නැතුව උඩ බලන් බලා ගත්තු අතේ බලන් ඉන්නවලු. ආයේ අර ගෙදරට යන්නම බෑ කියනවලු,, ඒ ගෙදර යකෙක් ඉන්නවා කියලා,, පස්සේ මම අදුනන ගැණු කෙනා අරයගේ නෑයන්ට කතා කරලා අර ගොල්ලෝ ඇවිත් එක්කන් ගිහින්,,පස්සෙ මට ඉතාලි ගෑනු කෙනා කිවුවේ අරයා දවස් කීපයකින් ලංකාවට ගිහින් කියලා.දැන් එතන බ්‍රසිල් කෙල්ලෙක් වැඩ කිවුවා මොන යකෙක්වත් හොල්මනක්වත් නෑලු. අර යක්කු කතාව බ්‍රසිල් කෙල්ලට කියලා, ඒකි කියලා යක්කු ආවොත් ඒකත් ඒකි බලා ගන්නම් කියලා.
මීට කාලෙකට ඉස්සල්ල,අපේ ගමේ අක්කා කෙනෙක්ටත් ඔය වින්නැහියම උනා, එයා උන්නේ නාපෝලිවල, එයත් ආච්චි කෙනෙක් බලන් ඉද්දි,ආච්චි මැරිලා මාර වැඩේ කියන්නේ ආච්චිව මේ අක්කට වැහිලා,,අක්කා ඉතින් ආච්චි විදිහට හැසිරිලා විකාර නටලා,පස්සේ බලෙන් වගේ එයාලගේ සහෝදරයෝ මෙයාව ලංකාවට අරන් ගියා,, ලංකාවෙදි මොනා කලාද මන්දා,,පොඩ්ඩක් ගෙදරට නාකි වෙවී උන්නේ,,ආයේ ඉතාලි ආවේ කසාදෙකුත් කරලම දීලා,, දැන් නම් හොදට ඉන්නවා.පවුල් වෙලා ළමයි හදාගෙන.
ඔය වගේම තව පිරිමි කෙනෙක් ඇවිල්ල ටික දවසකින්ම බලා ගත්තු අතේ බලාගෙනම ඉදලා,උන්නු ප්ලැට් එකෙනුත් පනින්න ගිහින්, ඒ වෙලාවේ ඒ ගෙදර උන්නු කොල්ලෝ බේරගෙන තිබුනා,,පස්සේ මිනිහවත් ලංකාවට යැව්වා,මිනිහා ඇවිල්ල තිබුනෙත් සල්ලි වියදම් කරගෙන,,ලංකාවට ගිහින් වැහුනු යක්කුන්ව එලෝලා ආයේ නෝර්මල් උනාම මතක් වෙලා තියෙන්නේ ණය වෙලා ගියේ කියලා,, ආයේ  ඇවිල්ල මෙන්න බොලේ හොදට වැඩ කරන් ඉන්නවා , ගෙදර ගිහාම නය කාරයෝ ඇවිල්ලා,,ඉතින් වැහුනු යකාවත් එලෝගෙන ආපහු ඇවිත්.
ලගදි තව කොල්ලෙක්ට වැහුනා යකෙක්,මිනිහත් අලුතෙන් ඇවිල්ලා ජොබ් එකකට දැම්මා දවස් කීපයයි කෙරුවේ අඩාගෙන ගෙදර ,එදා ඉදන් මූ කාමරෙන් එලියට එන්නෙ නෑ,කන්නෙ බොන්නෙ නෑ,මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑ, හිනාවක් නෑ යකා ගහලා වගේමයි. මේ ගෙදර ඉන්නේ කොල්ලෝ සෙට් එකක්,,මුන්ට ඇහිලා තියනවා ‍රෑට සුදු මැනිකේ කියලා හයියෙන් කෑ ගහනවා අර පොර හීනෙන්,ඒ අස්සෙන් ලංකාවෙන් කියනවලු හූනියම් කරලා අපේ කොල්ලා ඉතාලි ගිය නිසා කියලා,,අනේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,, ඒ මදිවට පොර විවාහ වෙල ටික දවසකින් ඇවිත් තියෙන්නෙත්,කරේ සුරේකුත් එල්ලන් ඉදලා තියෙන්නේ මොනා හරි වෙලා ඒකත් නැති වෙලා,,ගෙදර අය අහලා කරේ සුරයක් තියනවද කියලා,,ගෙදර කොල්ලෝ නෑ කියලා,,ඒකෙන් අර මිනිස්සු හොදටම බය වෙලා ආයේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,,මොකද මූ වීසා එක හම්බෙලත් යන්න බෑ කියලා, ඒ උනාට හෙන ආසාවෙන් ඉදලා තියෙන්නේ ඉතාලි එන්න, වීසා හම්බුනාම බෑ කියන්න පටන් අරගෙන,, අර මිනිස්සු මුගේ හිත වෙනස් වෙන්න සුරයක් දාලා තියෙන්නේ,ඒ දේවාලෙන් කියලා හූනියම් කරලා නිසා ඒ හිත වෙනස් වෙලා තියෙන්නේ කියලා ,ඔය කොල්ලෝ අතරේ ඉදලා තියනවා මොළේ ඇති කොල්ලෙක්, මිනිහට තේරිලා ලෙඩේ මොකද්ද කියලා, එදා ‍රෑම මූව බලෙන් වගේ දොස්තර නෝනෙක් ලගට ගෙනියලා,, අතේ තියන ගානට බේත් කරන්න ඕනා නිසා කලු දොස්තර නෝනෙක් ලගට එක්කන් ගිහින්,සුදු නෝනලා ගානත් වැඩී නේ,අප්‍රිකාවෙන් ආපු  අක්කිලා ඉන්නවා අඩු ගානට ඉතින් ලෙඩේ හොද වෙයි කියලා අර කොල්ලෝ මූව එක්කන් ගිහින්,බලෙන් වගේ ඇදගෙන ගියේලු. ගානත් කතා කරන් එතන තියන පාලු බිල්ඩිමකට මූව හරකව මරන්න ගෙනියනවා වගේ ඇදගෙන ගිහින්, අක්කිට බාර දුන්නලු ,මූව එක්කන් ගිය කොල්ලෙක් මට මේ විස්තරේ කිවුවේ,,ඈතට මුගේ මූන පේනවලු,පොඩි වෙලාවලු ගියේ ඔන්න මූ හිනා වෙන්න ගත්තලු,ඒ කියන්නේ ප්‍රතිකාරය හරි ගිහින්, පස්සෙ මිනිහා එළියට ආවලු වීරයා වගේ හරි හිනාවෙන්, කොල්ලෝ සෙට් එකට කියලා අපේ ගෑනුත් ගෑනුද බන් මුන් නෙ ගෑනු කියලා,මොකෝ උබට මුලින්ම හිනා ගියෙ කියලා අහනකොට පොඩ්ඩක් කිතියක් දැනුනා ඒකයි හිනා ගියෙ කියලා කිවුවලු අපේ සුදු මැණිකෙට වැදලා කිවුවත් කර ගන්න බැරි උනු දේ අරකි ගිය ගමන් කෙරුවනේ බන් කියලා.කලු අක්කි ප්‍රතිකාරය කටින්ම පටන් අරගෙන කියලා කොල්ලෝ කිවුවේ,,එදා ඉදන් සුදු මැනිකේ කියලා හීනෙන් කෑ ගැහුවෙත් නෑලු,ලෙඩෙත් හොද උනාලු,රස්සාව කරන් අපූරුවට ඉන්නවලු,,ලගදි සුදු මැනිකෙවත් ගෙනල්ලා ඉතාලියට.
ඔය අපේ අයට වැහෙන යක්කු තමා.අර මංජුලලා,ගංගා සුදර්ශනීලා ඉතාලියේ විතරක් නෙමේ මැද පෙරදිග මිනිස්සුන්වත් ගානට අන්දනවා කියලා ආරන්චිය,මට කෙනෙක් කිවුවේ අර ගොල්ලෝ මැදපෙරදිග ගිහින් හොදට සල්ලි කඩන් යනවලු,මනස ගොයියා ස්කයිප් වලින් දේශන දෙනවා ඉතාලියට.මංජුලට,ගංගාට වෙලාවක් වෙන් කරන්නත් මාස 6ට ඉස්සල්ලවත් සල්ලි බදින්න ඕනලු,,ඒ අතරමට වැඩ අර මිනිස්සු,අපේ මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ඒවගෙන් ගැලවෙන්න හොයන ක්‍රම තමා මේ.මොනා කරන්නද අපි ආසියාවට විතරක් නෙමේ ලෝකෙටම ආශ්චර්යමත් ජාතියක්...

Sunday, January 12, 2014

උණ්ඩයෙන් අවසන් වූ තුන්කොන් ආදරය



මීට වසර 5 විතර ඉස්සර ජනවාරි මාසයම තමා,මම ‍රැකියාව කරපු ස්ථානය අසලින් එක පෙලට ගියේ ඉතාලියේ තිබෙන පොලිස් දෙපාර්තුමේන්තු දෙකක පොලිස් කාර්,ඒ පසු පසින් ගිණි නිවන රථයක්,ඒ පසු පසින් ගිලන් රථ කීපයක්.පලාතම හොල්ලගෙන ඉතා වේගයෙන් සයිරන් නළා ගහගෙන හරියට බෝම්බයක් පුපුරලා වගේ.ඒ අවට මිනිස්සුත් පාරට බැස්සේ මොකද්ද මේ යුද්දේ කියලා බලන්න,මමත් ඔලුව දාලා බැලුවා ඒත් හරි තොරතුරක් ආවේ නෑ,ඒවා ගියේ මම උන්නු ස්ථානයේ ඉදලා 500 මීටර් විතර දුරකින් තිබුනු ස්ථානයකට.මමත් ඒ ටිකකින් වැඩ ඉවර වෙලා ගෙදර ගියා,පසු දින පත්තරෙන් සහ ‍රැකියාව කරපු ස්ථානයෙන් මට තොරතුරු හම්බුනා. ඒ සිදු වුනු සිදුවීම.
ලොක්කා කඩවසම් කොල්ලෙක්,සුද්දිත් පිරිමියෙක්ට ඉස්සරහිනුත් බලලා පස්ස හැරිලත් බලන්න හිතෙන ඉටිකිරිස් කෙල්ලක්,දෙන්නා කෙටි කලකින්ම ප්‍රේමවන්තයෝ දෙන්නෙක් බවට පත් උනා,මල් උයනේ බංකු වල,චිත්‍රපට ශාලාවේ දෙන්නගේ ආදරය නැගලම ගිහින් තිබුනා,කෑම මේසේ,තේ මේසේ මේ දෙන්නව අත් දෙක පටලාගෙන ඉන්න දසුන නිරන්තරයෙන්ම අනෙක් කොල්ලෝ කෙල්ලන්ට දකින්න ලැබුනා.හරියට රෝමියෝ ජුලියට් වගේ තද ලව් එකක්.
දෙන්නගේ ආදරය කෙටි කලක් මෙහෙම යනකොට මේ දෙන්නගේ ආදරය මැද්දට තව එකෙක් කඩා පාත් වෙනවා,,ඒ පොඩ්ඩා,පොඩ්ඩා ලොක්කට වඩා කඩවසම් හරියට හොලිවූඩ් නලුවෙක් වගේ පොරක්,වැඩි දවසක් යන්නෙ නෑ,පොඩ්ඩට සුද්දි ගැන හිතක් පහල වෙනවා,පොඩ්ඩා අර දෙන්නගේ ආදරය දැන දැනම සුද්දි පස්සේ යන්න ගන්නවා,පොර බැහැලම ට්‍රයි එක සුද්දිගෙ ආදරය ලබා ගන්න,වැඩි දවසක් යන්නේ නෑ ලොක්කට මීටර් වෙනවා පොඩ්ඩා සුද්දී පස්සෙ පන්නනවා කියලා,කීප වරක්ම ලොක්කා පොඩ්ඩට අනතුරු අගවනවා සින්කොන් එකෙන් අයින් වෙයන් කියලා,ඒත් සුද්දිගෙ ලස්සනට වශී උනු පොඩ්ඩා නෙමේ පරාජය බාර අරගෙන සීන් එකෙන් අයින් වෙන්නේ.පොඩ්ඩත් සුද්දිගෙ පස්සෙන්මයි,සුද්දි යන යන තැන් වල පොඩ්ඩත් පස්සෙන්.
කෙමෙන් කෙමෙන් සුද්දිගෙ හිතත් හිමීට පොඩ්ඩා දිහාවට ඇදෙන්න අරගෙන,මොකද පොඩ්ඩට සුද්දිගෙ ආසන්න වයසෙමයි,අනෙක ඉතා කඩවසම් පෙනුමක් පොඩ්ඩට තියෙන්නේ,ලොක්කා එහෙම හැන්ඩියෙක් නෙමේ.සුද්දිගෙ හිතත් පොඩ්ඩ පොඩ්ඩ කාන්දමට ඇදෙනවා වගේ පොඩ්ඩා දිහාවට යන්න අරගෙන,ටිකෙන් ටික ලොක්කව මග අරින්නත් අරගන්නවා,ලොක්කා ඉන්නේ දැන් අසූ හාරදාහට තද වෙලා,ලොක්කගේ ඉවසීමේ සීමාවත් පනිනවා මොකද අර දෙන්නගේ ලව් එක පටන් අරගෙන,,.වැඩි දවසක් යන්නේ නෑ ලොක්කව සුද්දි අතාරිනවා,අනික් එක ලොක්කට අනෙක් කස්ටිය ඉස්සරහා මේකට ලැජ්ජයි.
ලොක්කා අවසන් තීරනේට යනවා,පිස්තෝලය අරගෙන මේ වතාවේ පොඩ්ඩා ලගට කිට්‍ටු වෙන්නේ,පාක් එකේදිම පොඩ්ඩව අහු වෙනවා,අවට තවත් මිතුරන් පිරිසකුත් ඉදලා තියනවා,පොඩි බහින් බස් වීමක් එක්කම ලොක්කා පොඩ්ඩගේ අවසානය සටහන් කරනවා, වෙඩි උණ්ඩ කීපයකින්,ඒ එක්කම ඉතුරු වෙඩි උණ්ඩ ලොක්කගේ අවසානය,ලොක්කත් සිය දිවි නසා ගන්නවා.ඔන්න ඔහොම තුන්කොන් ආදරයක අවසානය සනි‍ටුහන් වෙනවා.වෙඩි උණ්ඩ කීපයකින්.
මේ පුවත අහපුවම මට බඩ අල්ලගෙන හිනා ගියා,ඒ මොකද කියනවා නම් ලොක්කට ඒ වෙද්දි වයස86,සුද්දිට 80 ,පොඩ්ඩට 82,මේ අය ජීවත් උනේ වැඩිහිටි නිවාස සංකීර්ණයක,එතන වැඩිහිටි නිවාස වලට අමතරව සියලු සැප පහසුකම් තියන තැනක්,මල් උද්්‍යාන,චිත්‍රපට ශාලා,නාට්ය ශාල,පල්ලි වගේ සියලුම දේ තියන වැඩිහිටියන්ගේ පොඩි ගම්මානයක්.මේ ගම්මානේ ඇති උනු පොඩි ආදර කතාවක අවසානය තමා මම අර උඩ ලිවුවේ.අර පොලිස් කාර්,ගිලන් රථ එදා මෙතෙන්ට ගියේ අර වෙඩි තැබීම නිසා.මෙතන ඉන්නේ ජීවිතේ සැදෑ සමය ගෙවන මහළු අය,ගොඩක් අයට කාත් කවුරුත් නෑ,තමන්ගේ පෙන්ශන් එක නිසා මේ නිවාසෙට පොඩි මුදලක් ගෙවලා මෙතන පදිංචියට ආපු අය,තවත් අය තමන්ට දරුවෝ උන්නත්,තනිකම පාලුව නිසා තමන්ගේ වයසේ අය එක්ක ගත කරන්න ආසාවෙන් ආපු අය.එහෙම මෙතන උන්නු 3ක් තමා ලොක්කා,සුද්දි,පොඩ්ඩා,තමාගේ ආදරවන්තියව නැති වීමෙන් හිතට ආපු ආවේගය නිසා,ලොක්කා අර විදිහට මේ කතාව අවසන් කලා.ආදරයට වයසක් නෑ සීමාවක් නැ.
(මේ අයට මම ලොක්කා,පොඩ්ඩා,සුද්දි කියලා නම් යෙදුවේ ඒ අයගේ නම් මට මතක නැති නිසා,මට මේක මතක් උනේ අද පාක් එකේ උන්නු අත් පටලවගෙන ආදරයෙන් උන්නු ඉතා වයසක ජෝඩුවක්  දැක්කට පස්සෙ)

Sunday, December 22, 2013

බිංදුගේ කතාව



මගේ මතකයේ විදිහට ඒ 99 හෝ 2000,බිංදුලාගේ පවුල පිටින් අපේ ගමට පදිංචියට ආවා,බිංදුවට එතකොට වයස 17,18විතර මම හිතන්නේ,ඌ තමා පවුලේ වැඩිමලා දෙවෙනියා රතු,ඌට 16ක් විතර ඌ ස්කෝලෙ යනවා,බාලයා නංගි කෙනෙක්,ඒකි මගේ වයසෙම කෙල්ල,බිංදුවලාගේ නෑයෙක් හරහා තමා කුළියට අපේ ගමට ආවේ,කොහෙන් ආවද කියලා අදටත් අපි දන්නේ නෑ,දැන් උන් අපේ ගමේ ස්ථීර පදිංචිකාරයෝ.ඒ කාලේ උන්ගේ තාත්තා වැඩ කලේ කොළබ රජයේ ඔ‍ෆිස් එකක,අහිංසක මනුස්සයෙක්,හැබැයි වැඩ ඇරිලා කෝච්චියෙන් එන්නේ බහින ස්ටේශන් එකේ ඉදන් සියලුම කසිප්පු පොට් වල නවත්තලා,,ගෙදරට එද්දි නාග සලං,නිවාඩු දවසට පොර ගෙදරින් එලියට එනවා වත් මම දැකලා නෑ.
මේ කස්ටිය ගමට ඇවිත් දවස් දෙක තුනකින්ම උන්ගේ නෑදෑ කොල්ලා එක්ක අපේ ගමේ කොල්ලෝ සෙට් එක එක්ක එකතු උනා,
එතකොට මම වැඩි වයසක් නෑ,,ලොකු කොල්ලෝ සෙල්ලම් කර කර බලන් ඉන්නවා මිසක්,,ක්‍රිකට් ගහනකොට ඈතට යන බෝල අහුලන්නයි,ඈතට යන වොලිබෝල් අහුලන්නයි,,,අපේ ගමේ උන්ට අත්පුඩි ගහන්නයි තමා අපේ රාජකාරිය උනේ,බිංදුවා ආවට ඌ කවදාවත් සෙල්ලම් කලෙත් නෑ,කොල්ලෝ එක්ක කතා කලෙත් නෑ,හිනා උනා විතරයි,රතුවා නම් අපේ ගමේ සෙට් එකටම ගැලපෙන එකෙක් උනා.

ටික දවසකින් බිංදුවා සෙල්ලම් කරන්න එන එක නැවතුනා,ඒත් උගෙන් ගමට පොඩි සේවයක් උනා,,ඒ කැඩෙන ඉලෙක්ට්‍රික් බඩු හදලා දෙන එක,ඌ ඒකට දක්ශයා,ඒ එක්කම ඌ ටික දවසකින්ම ජොබ් එකක් හම්බවෙලා උදෙන්ම බසිකලෙන් වැඩට යන්න ගත්තා,රතුවා කියපු විදිහට ඌ අපේ ගමට එන්න ඉස්සල්ලත් ලියවන පට්ටලේක වැඩ කරලා තියනවා,,ඌ ඒකට දක්ශයා කියලා,අර ඉලෙක්ට්‍රික් බඩු හදන එකත් පාට් ටයිම් එකක් විදිහට කෙරුවා,ඒක කලේ රතුවා හරහා,,ඌ තමා ඒක උන්ගේ අයියා ලව්වා කරවලා සල්ලි ගත්තේ,,ගමේ මිනිස්සු බිංදුවව දැක්කේ උදේ පාන්දරයි ආයේ රෑ වෙද්දි ගෙදර එනවයි විතරයි,ඒත් ඌ හිනා උනා විතරයි.
රතුවා කිවුව විදිහට බිංදුවා කියන්නේ එන්ජිමක කොටසක් පෙන්නුවොත් ඉතා ඉක්මනින් ඒක ලියවන්න දක්ශයෙක්,ඒ වගේම ඌ ලගට තකහනියක් මිනිස්සු ආවාලු එන්ජින් කොටස් ලියවන්න,ලියවන පට්ටලේ බිංදුවා නැති දවසට අනෙක් බාස්ලට නොදී මිනිස්සු හැරිලා යන්න තරම් දක්ශ ලියවන පට්ටල් බාස් කෙනෙක් විදිහට පොඩි වයසකදිම බිංදුවා පත්වෙලා ඉදලා තියනවා,ඒ වගේම තමා එතනම තිබුනු ගැරේජ් එක නිසා ඉතා ඉක්මනින් බිංදුවා වාහන එන්ජින් ගැන උනත් ඉතා ඉහළ දැනුමක් අරගෙන තියනවා.
මට මතක විදිහට 2004 බිංදුවා එක පාරටම ගමෙන් අතුරුදන් උනා,මූ ගැන තොරතුරක් නැති නිසාම රතුවගෙන් අහනකොට ඌ බිංදුට උනු දේ කිවුවා කොල්ලෝ එක්ක,බිංදුවට කොහෙන්දෝ මිලිමීටර 9 පිස්තෝලයක කැටලොග් එකක් හම්බවෙලා,මූ මොකද කරන්නේ ලියවන පට්ටලේ උදව්වෙන්,පිස්තොල කීපයක්ම හදලා,ඒවත් විකුනලා,කොහෙදෝ උනු මංකොල්ලෙකදී මේ පිස්තොලයක් මාට්‍ටු වෙලා,භාන්ඩෙ කොහෙන්ද කියන එක හොයන් යද්දි බිංදුවත් දන්නේ නැතුවම පට්ටලේදිම බිංදු මාට්‍ටු,ඒ වෙනකොටත් භාගෙට හදපු බඩු කීපයක් අහු වෙලා,බිංදු අතුරුදන් උනේ හිරේ ගිය නිසා,,මම හිතන්නේ අවුරුදු 7ක් 8කට විතර පොර හිරේ ගියා.
මම පහු ගිය අවුරුද්දේ ලංකාවට යනකොට ඔන්න බිංදුවත් ගෙදර උන්න නිදහස් වෙලා ඇවිත්,,අහලා බලද්දි ඌ ඇවිත් මාස 6ක්7ක් විතර,ඒ පාර ඔන්න බිංදුවා දක්ශ කැටයම්කාරයෙක්,,පොඩි ලී කැල්ලෙන් උනත් යම් නිර්මානයක් කරන්න දක්ශයෙක් වෙලා,,ඒ අතර පොල්ක‍ටු වලින් කරපු නිර්මාන පුදුම ලස්සනක්,ඒවා රතුවා මිනිස්සුන්ට විකුනන්නත් පටන් ගත්තා,ටික දවසකින් බිංදුවා ආයි වාහන ගැරේජ් බාස් කෙනෙක් විදිහට වැඩට ගියා,,ඒ පාර ලියවන පට්ටල් බාස් කෙනෙක් නෙමේ ඩීසල් එන්ජින් බාස් කෙනෙක්,පාට් ටයිම් ජොබ් එක පොල් ක‍ටු වලින් කරන අත්කම් නිර්මාන.මේ දක්ශ නිර්මාණකරුවා ඒ වෙනකොට නරක පුරුද්දකට ඇබ්බැහි වෙලා ඉදලා තියෙන්නේ,,ඒ වෙනකොට බිංදුවා කුඩුකාරයෙක් වෙලා,හිරෙන්ම තමා ඒකට පුරුදු වෙලා තියෙන්නේ,,හිර ගෙදර කුස්සියේ උන්නු බිංදුවා,,කුස්සියේ අහක දාන පොල්ක‍ටු වලින් අත්කම් නිර්මාන කරලා ඒවා විකුනලා තියනවා,ඒ මුදලින්ම හිරගේ තුලදිම මත්කුඩු පාව්ච්චියට පුරුදු වෙලා,
මට ලගදි ආරංචි උනා බිංදුවා යාලුවෝ වගයක් එක්ක කුඩු ගහනකොට පොලිසියට මාට්‍ටු වෙලා,පොර දැන් ආයෙත් හිරේ ගිහින්,කොච්චර කාලයකටද දන්නේ නෑ, සමහර විට ආයෙත් අවුරුදූ 5ක්,6ක් වෙන්න පුලුවන්.
අපේ රටේ හෙරෝයින් කුඩු කිලෝ ගනන් අහු වෙලා ඒවා ගෙන්වන උන් නිදහස් උනාට බිංදුල වගේ උන් මිලිග්‍රෑම් ගානක් අතේ තියන් මාට්‍ටු උනාම අවුරුදු ගනන් ඇතුලේ,අර පිස්තොල මාට්‍ටු උනු වෙලේ බිංදුවලගෙන් අපේ රටට වැඩක් ගන්න පුලුවන් ක්‍රමයක් තිබුනා නම් බිංදු කියන්නේ දක්ශ  නිර්මාණකරුවෙක්, එහෙම නම් කුඩ්ඩෙක් නොවෙන්න තිබුනා,බිංදුව නිසි මගට ගන්න අපේ රටේ හරි හමන් පුනරුත්ථාපනයක් නෑ,හිරේ යන බිංදුලා එළියට එන්නේ ආයෙත් වැරදිකරන්නම බලාගෙන,අපේ රටේ මේ වගේ බිංදුලා කොච්චර ඇතිද,මේ මිනිස්සුන්ට උත්පත්තියෙන් පිහිටලා තියන දක්ශතා උන් එක්කම හිර ගෙවල් ඇතුලෙම කවදා හරි වැලලිලා යාවි,මම හිතන්නේ ආයේ බිංදු එලියට එනකොට ඌට 40 පැනලා තියේවි,ඊලගට ඌ මොනා හිරෙන් පුරුදු වෙලා ඒවිද දන්නේ නෑ.
බිංදුවා අහම්බෙන් හරි බටහිර රටක ඉපදුනා නම් අර වගේ පිස්‍තෝලයක් හදලා අහු උනා නම් බිංදුවා ආයුධ නිශ්පාදානය කරන ඉංජිනේරුවෙක් වෙලා නවතීවි,අවාසනවාකට බිංදුලා ඉපදිලා තියෙන්නේ හරි රටක නෙමේ.

මට බිංදුගේ කතාව මතක් උනේ අසමි දකිමි සොයමි ලියන විචාරක මහතාගේ මේ පෝස්ට් එක නිසා

Sunday, November 24, 2013

ඉන්දියෝ,පක්කෝ,පිල්ලෝ,බංගලියෝ සහ අපි

                

                 ඔය උඩ සෙට් එක ඒ කියන්නේ ඉන්දියානුවෝ , පකිස්තානුවෝ, පිලිප්පීනුවෝ, ශ්‍රී ලාංකිකයෝ නැති රටක් අද ලෝකෙ හොයන්න අමාරුයි,මම හිතන්නේ ලෝකෙ මේ ජාතින් වල කෙනෙක් නැති රටක් හොයන්නම බෑ.ඒ තරමටම මේ කස්ටිය ලෝකෙ පුරා විසිරිලා ඉන්නවා,ඒ නිසාමද කොහෙද මේ කියන ජාතින් සෙට් එක ඉන්න ඕනම රටක තියන පොඩි ලෙඩක් තමා රැකියා වලට තියන තරගය එක්ක ඇති වෙන හැල හැප්පීම්,ඒ එක්කම ජාතීන් එකිනෙකා රුස්සන්නේ නැති ගතිය,ඒක වැඩි පුරම තියෙන්නෙත් ලාංකිකයන්ට සහ ඉන්දියානුවන්ට මම දකින විදිහට, ඔය අපේ බ්ලොග් අවකාශෙත් මම දැකලා තියනවා පෝස්ට් තිබුනා ඉන්දියානුවෝ ඊර්ශියාකාර,අපිරිසිදු ,අනුන්ගේ දේවල් හොයන,කෑමක් කන්න දන්නේ නැති, මහ සත්තු වගේ ජාතියක්ය,,පිලිප්පීනුවෝ කිසි කමකට නැති අපිරිසිදු,චාරයක් නැති ගණිකා වෘත්තිය කරන ජාතියක්ය,බංගලිදේස්,පකිස්තානුවෝ කස්ටිය නාන්නේ නැති කන්න දන්නේ නැති අපිරිසිදු ජරා ජාතියක්ය වගේ කතා,  බ්ලොග් අවකාසෙට අමතරව අපේ අයගේ කතා බහෙනුත් ඕනා තරම් අහන දේවල් මේ.
                ඉතින් ඔය කියන මිනිස්සු අපි කියන තරම්,හිතන තරම් නරක මිනිස්සුද?,,,ඔය මිනිස්සු අපි ගැන කොහොම කියනවද කියලා මම දන්නේ නම් නෑ, මගේ වසර 7 ඉතාලි ජීවිතේ ඔය කියන ජාතීන් සහ තවත් අමතර ජාතීන් රාශියක් මට මුන ගැහිලා තියනවා, කතා බහ කරලා තියනවා,ආශ්‍රය කරලා තියනවා,,යම් යම් පුද්ගලයන්ව අදටත් ආශ්‍රය කරනවා,ඒත් මට නම් ඔය කිසිම කෙනෙක්ගේ කියන්න තරම් මහා ලොකු වැරදි දැක්කේ නෑ, ඒ එක්කම මට කල්පනා උනේ අපි ගෙවල් පිරිසිදුව තියන් ඉන්න, අනුන්ගේ දේවල් හොයන්නේ නැති, කාටවත් ඊරිශියා කරන්නේ නැති,කිසිම රටක අපේ කාන්තාවෝ ගණිකා වෘත්තියේ යෙදෙන්නේ නැති 100% අංග සම්පූර්න ජාතියක්ද කියලා.අපි අරුන්ට බැන්නට ඔය ලෙඩ අපිටත් තියනවා නේද?
                 ගජේන්ද්‍රන් මට මුන ගැහුනු මුල්ම චරිතයක්,මම ඉතාලියට ඇවිත් සතියක් විතර ඇති මුලින්ම මෙයාව දකිනකොට, අපේ ගේ ගාවින් එහා මෙහා ගිය අපේ ගේ අසල පදිංචි වෙලා උන්න කෙනෙක්,මුල් දවස් වල මම මෙයා එක්ක හිනා උනාට පොර අහක බලන් ගියා,අපේ අම්මගෙන් අහනකොට කිවුවේ මිනිහා දෙමළ කෙනෙක් මෙතනින් ගියාට හිනා වෙන්නේ කතා කරන්නේ නෑ අහක බලන් යන්නේ කියලා,තව දවසක් දෙකක් මම බලෙන්ම හිනා උනා,,ඔන්න පොරත් හිනා වෙන්න ගත්තා,,ඔහොම යනකොට සුභ පතන්නත් ගත්තා,ඔන්න පොර ගෙදර අනික් අය එක්කත් සුභ පතන්න අත වනාගෙන යන්න පුරුදු උනා.කතා කරන්නත් ගත්තා,,මමත් ඒ වෙනකොට වචනයක් දෙකක් ගොතාගෙන ඉතාලි කතා කරන්න පොඩ්ඩක් පුලුවන්,මිනිහා යාපනේ,එකම රටේ වෙලත් අපිට ඉතාලි භාශාවෙන් කතා කරන්න උනේ,මිනිහා එක්ක මම යුද්ධ ගැන අරවා මේවා කතා කලේ නෑ,,පොර ඒත් ක්‍රිකට් පිස්සා,සනත්ට,මුරලිට මැරීගෙන උන්නේ,ටික දවසකින් පොර ඉතාලියේ ඉදන් කැනඩාවට ගියා,ඒ යනකොට මට මිනිහගේ පාට් ටයිම් ජොබ් එකක් දීලා ගියේ,ඉතාලියේ මගේ මුල්ම රැකියාව මිනිහා දුන්නු පාන් කඩේ සුද්ද කිරීම,පොඩි කතා බහකින් තේරුනා මිනිහා එල්ටීටී පැත්තට බරයි කියලා නම්.ඒත් මම ඕවා හාරන්න අවුස්සන්න ගියේ නෑ.
                සෙනගල් ජාතිකයෙක් උනු බූබ්බා මට වඩා පට්ට කලුයි,උගේ සුදුවට දැක්කේ දත් සෙට් එක විතරයි,මගේ තවත් පාට් ටයිම් ජොබ් එකක් කරන තැනක් අසල නොයෙක් නොයෙක් ජාතියේ විසිතුරු බඩු,හෑන්ඩ් බෑග්,පර්ස්,සන් ග්ලාසස් විකුනපු කෙනෙක්,ටික දවසකින්ම මිනිහා එක්ක හිතවත් උනා,මේ පාට් ටයිම් එක තිබුනේ පොඩ්ඩක් දුර මගේ නිවසේ ඉදලා මිනි 45 විතර ගමනක්,,මම වැඩ ඉවර වෙන වෙලාවටම බූබ්බත් පොරගේ බඩු අස් කරගෙන කෑලි හෙලෙන බෙන්ස් එකකට පටවනවා,දවසක් බස් එක නැතුව පොර මට කතා කලා උගේ බෙන්ස් එකේ යන්න,,එදා ඉදන් ඒ පාට් ටයිම් එක කරලා යන්නේ බූබ්බගේ බෙන්ස් එකේ,මට ඉදගන්න විතරයි පොඩි ඉඩක් හදන්නේ,බෙන්ස් එක පිරෙන්න උගේ බිස්නස් බඩු.විහිලු තහලු මැද්දේ මූත් එක්ක මම ගෙදර එනවා.
                 ජූන් සහ ඇන්ඩි දෙන්නම පිල්ලෝ,මම වැඩ කරපු රෙස්ටුවරන්ට් එකක පිගන් හේදුවේ උන් දෙන්නා උන් දෙන්නට අමතරව කුස්සියේ මමත් එක්ක තව ලංකාවේ උන් 3යි,ඉතාලි ලොකු චෙපයි,විකාර ලෝකයයි,මේ රෙස්ටුවරන්ට් එක තිබුනෙත් මගේ ගෙදර ඉදන් පැයක විතර දුර බස් එකේ,,අනික වැඩ තිබුනේ සවස 6 ඉදන් පාන්දර 2,3 වෙනකන්,,ඔය වෙලාවට මට ගෙදර එන්න එකක් තිබුනේ නෑ,මුල් දවස් වල අපේ එකෙක් එක්ක නැගගෙන ආවා දවස් කීපයක්,මූ එන ගමන් පෙට්‍රල් ගහන්න යන්න ගත්තා හැමදාම,ගිහාම මල්ලියා මාරු සල්ලි තියනවද අහනවා,මූ නොකියම මගෙන් හැමදාම ගානක් ගන්න ගත්තා,දවසක් මූ නැතුව මාව ජූනයි,ඇන්ඩියයි උන්ගේ කාර් එකේ දාගෙන ආවා,,අර අපේ එකාට දුන්නු මාරු සල්ලි මුන්ට දෙන්න ගිහින් හොද කුණු හරප අහ ගත්තා,උබට පිස්සුද ආයේ වරෙන් අපිත් එක්ක යන්න,අපි උබව ඔලුව උඩ තියන් නෙමේ යන්නේ,ඇත්තටම ඔතන වැඩ කරපු තවත් එකෙක් දිනේශ් අයියා, ඒ හරියෙම පදිංචි පොරක්,,මිනිහා මාව දවස් කීපයක්ම පොරගේ කාර් එකේ ගෙදරටම ගෙනත් ඇරලා ආයේ හැරිලා ගෙදර ගිය එකෙක්,,ඌත් එක්ක යාලු කම අදටත් තියනවා,ජූනා සහ ඇන්ඩියා එක්ක යන ගමනෙදි සෙනසුරාදා රෑට තවත් අපූරු චරිත දෙකක් හම්බෙනවා හිටි ගමන්,,උන් දෙන්නා අපේ යාලුවෝ උනා සෑහෙන කාලයක්,යාලුවෝ දෙන්න තමා නයිජීරියානු කෙල්ලෝ දෙන්නෙක්,ඔය පාන්දර දෙන්නා එන්නේ ලෝකෙ පරනම රස්සාව කරලා,උන්ටත් ඒ පැත්තේ ඉදන් එන්න බස් නෑ,,අන්තිමට උන් දෙන්නා සෙනසුරාදට ඒ හරියට වැඩට එනවා නම්,,මේකිලා දෙන්න අපි එනකන් බලන් ඉන්නවා,අන්තිමට ජූනා මුන් දෙන්නට කෑම පාර්සලේකුත් ඔතන් එන්න ගත්තා,මොකද උන් දෙන්නව ගෙනියන උන් රෑට කන්නවත් දෙන්නේ නෑ කියලා දුක කියලා ජූනගේ හිත උණු උනා.ජූනා නම් ආයේ පිලිප්පීනෙට ගියා ඇන්ඩියා නම් තාම මට හිටි ගමන් හම්බ වෙනවා,,දැකපු ගමන් වරෙන් කෝපි එකක් බොන්න යමු කියලා අදටහ් බලෙන් ඇදගෙන යන්නේ.
                       ප්‍රකාස්,කෙවින්,මොහොමඩ්,කලීල් ඔය මට මුන ගැහිලා තියන පකිස්තානු,ඉන්දියානු බංගලි චරිත සමහරක් උන් එක්ක මම වැඩ කරලා තියනවා,මොහොමඩ් බූබ්බා වගේ පාරේ විසිතුරු බඩු විකුනපු එකෙක්,තවත් චරිත රාශියක් තියනවා ඔය වගේ,ඇත්තටම මට මුන්ගේ කියන්න තරම් මහා ලොකු වැරදි තිබුනේ නෑ,තවත් කලු චරිතත් ඕනා තරම් මුනැ ගැහිලා තියනවා,,,වැඩ කරන තැන් වල ඉතාලි කාරයන්ට කේලම් කියන,ගිණි ගෙඩි දෙන උනුත්,ඒ උනාට එහෙම උන්ව නිකන්ම ඒ තැන් වලින් කැපිලා ගියා.
                  ඉතාලි චරිතත් ගොඩක් ඉන්නවා ඉතා අපූරු මිනිස්සු,මම දැන් සීයා කෙනෙක් බලා ගන්න ජොබ් එකක් කරන්නේ,,ඒ සීයගේ පුතා,පලාත් උසාවියක සිවිල් නඩු අංශේ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයෙක්,හැම ඉරිදම මාත් එක්ක කෝපි බාර් එකේ කෝපි එක ,කපුච්චීනෝ එක ගහන පොර,හිටි ගමන් සවස මාව ඇදගෙන ගිහින් කොක‍්ටේල් එකත් ගහනවා,ඒ වගේම අපේ තාත්තා රෙදි මදින්න යන නැව් කමාන්ඩර්,පොරගේ ගමන පයින් ගොඩ බිමේදී නම්,,ඒ උනාට පට්ට සල්ලි කාරයා,හිටි ගමන් මාව පාරෙදි දැක්කොත් කෝපි බාර් එකකටම ඇදගෙන යනවා කෝපි එක බොන්න,ලංකාවේදි නම් මගේ තත්වේ අනූව කවදා මහේස්ත්‍රාත්වරු,කමාන්ඩර්වරු එක්ක එකට ඉදගෙන කෝපි බොන්නද හීනෙන්වත් එහෙම වෙන එකක් නෑ.ඔය වගේ ඉතාලි චරිත විශාල ප්‍රමානයක් මට හමු වෙලා තියනවා තවත් ඉස්සරහටත් හමු වේවි නියම මහත්වරු.
                 අපේ රටවල ජාති,ආගම් ප්‍රශ්න ඇති වෙන්නේ මොකද කියන එකට මූලික හේතුව අපේ හිත් වල තියන විකාර අදහස් නේද කියන එක මම ඉතාලි ජීවිතේ තේරුම් ගත්තු දෙයක්,ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට එබීමයි,උන්ගේ ජීවිත රටාවට ඇගිලි ගැහීමයි වගේ සීමාව පැනලා ගිහින් අපි ඔලු විකාර කර ගෙන,නොයෙක් ජාතින් එක්ක තරහා වෙන්න බලනවා මහා හේතුවක් නැතුව,අපේ රටේම ඉන්න අපේ සහෝදර ජාතීන් වලමිනිස්සු එක්ක තරහා වෙන්න යනවා,තරහා වෙලා ලොකු යුද්ධෙකුත් කලා මිනිස්සු විශාල ප්‍රමානයක් රටට නැති උනා,ඇත්ත උන්ගෙත් ඉන්නවා විකාර ඔලුවේ දා ගත්තු උන්,අපි එකිනෙකාට ගරු කරන්න ගත්තොත්,එකිනෙකා අතර යහපත් සම්බන්ධතා පවත්වා ගත්තොත් මේ ප්‍රශ්න ගොඩක් අඩු වේවි.

                 

Sunday, October 27, 2013

අනවසර බෝට්‍ටු සංක්‍රමණිකයෝ...

ඉතාලියට තියන ආර්ථික ප්‍රශ්න එක්ක මේ අවුරුද්ද පුරා තියන අනික් ප්‍රශ්නේ තමා මේ වසරේ ශ්‍රීස්ම සෘතුවත් එක්ක වැලට එන්න ගත්තු අනවසර බෝට්‍ටු, අප්‍රිකාවෙත්,මැද පෙරදිග කලාපේ රටවලත් තියන යුද්ධ මේකට පලවෙනි හේතුව.සිරියාව ගැන කියන්න දෙයක් නෑ නේ අමුතුවෙන්,,බෝට්‍ටු ගමන් අඩු වෙලා තිබිලා මේ වසර දෙකේ ආයෙත් හිසරදයක් වෙන්නම එන්න අරගෙන,බොහෝ අනවසර සංක්‍රමනිකයෝ ඉතාලියට එන්නේ යුරෝපෙට ඇතුල් වෙන දොර මේක නිසා,අනික අප්‍රිකානු මහද්වීපෙට ඉතාමත් ලග නිසා,ගොඩක් අය යුරෝපේ අනික් රටවලට ගියත් තවත් විශාල පිරිසක් ඉතාලියෙම නවතිනවා.
ඉතාලියට මුල්ම බෝට්‍ටු පැමිනෙන්න අරගෙන තියෙන්නේ 90 දශකයේ මුල්ම කාලේ තුර්කි යුද්ධයත් එක්ක,මද්යධරණි මුහුද හරහා ඉතාලියේ සිසිලි දූපතට හෝ සිසිලි දූපතට අයත් ලම්පෙදූශා දූපතට තමා මේ බෝට්‍ටු පැමිනෙන්නේ.ඒ අප්‍රිකාව හරහා එන අය..තවත් කොටසක් මුහුදු තරණය කලා ඒ කාලයක් ඉතා සශ්‍රීකව තිබුනු අද වැලේ වැල් නැතුව තියන නැගෙනහිර යුරෝපානු රටවල් වලින්,,90 දශකයේ මුල් කාලේ මේ රටවල් වලත් දරුනුවටම යුද්ද ඇවිලුනා,,තාමත් ඒ රටවල් විනාශෙන් ගොඩ ඇවිත් නෑ,මේ අය සිසිලි දූපතට නෙමේ ඉතාලියේ නැගෙනහිර තීරුවට  යුගෝස්ලෝවියාව හරහා,,අද්‍රියාතික මුහුද තරනය කිරීම,ඒත් 90 දශකයේ මුල් කාලෙම මේ ගමන නම් නවත්තලා දාගන්න ඉතාලියට පුලුවන් උනා,ඒත් මද්යධරනි මුහුදේ කරදර නම් නවත්තන්න පුලුවන් කමක් පේන්නෙම නෑ වගේ,

මේ දවස් වල මම ඉන්න නගරේ ගෘහස්ත ක්‍රීඩාගාරෙකත් මේ අප්‍රිකානු සරණාගතයෝ විශාල ප්‍රමානෙකට නවතින්න පහසුකම් හදලා දීලා තියනවා,,,මොනවා උනත් යුරෝපා රටවලින් මනුස්සකම ඉතා ඉහල තැනක තියන් ඉන්න ඉතාලි ජාතිකයෝ මේ මිනිස්සුන්ට පුලුවන් විදිහට සලකනවා,,ඒ අතර සිසිලිය ඉතාලියෙන් දුප්පත් කොටසක් උනාට,,මේ මිනිස්සුන්ගේ පුදුමාකාර මනුස්සකමක්,කරුණාවක් මේ වෙලාවේ තියනවා,පහු ගිය 3 වෙනිදා සෙනග 515 එක්ක ආපු බෝට්‍ටුවක් ලම්පෙදූසා දූපත ආසන්නයේ ගිලිලා ගියා,අවාසනාවට මේ අයගෙන් 170 විතර ප්‍රමානයක් තමා බේර ගන්න පුලුවන් උනේ,,,ඒකට ඉතාලි ජාතිකයෝ පලු යන්න බනින්න ගත්තේ රජයට මොකද මේ දූපතේ පදිංචි ඒ වෙලාවේ මූදේ උන්නු ධීවරයෝ මේ ගිලුනු මිනිස්සුන්ව බේර ගන්න උත්සහයක් දැරුවට ඉතාලියේ තියන නීතියක් මේකට හරස් උනා,ඒ තමා කිසිම අනවසර පුද්ගලයෙක්ව බෝට්‍ටු මගින් ගොඩබිමට ‍රැගෙන ඒමට තියන තහනම,,මේ ධීවරයෝ මොකද කලේ ඉක්මනින් ගොඩබිමට ඇවිල්ලා,,බලධාරින්ට දැනුම් දීලා අර ගිලෙන මිනිස්සු බේර ගන්න යෑම,,ඒත් ඒ වෙනකොට මිනිස්සු සෑහෙන ප්‍රමානයක් මිය ගොස් ඉවරයි,මිනිස්සු බනින්න ගත්තේ මේ තිබුනු නීතියට.කොහොම හරි නමක් නොමැති පුද්ගලයින් විශාල ප්‍රමානයක් සිසිලි බිමේ ඉතාමත් ඉහල ගරු බුහුමන් සමගින් මිහිදන් උනා,සමහර ඉතාලි ජාතිකයන් තමන්ට පවුලෙන් අයිති වුනු තමන්ගේ මිය ගිය නෑයන් මිහිදන් උනු ඉඩ
මේ නොදන්න කවදාවත් නොදැකපු අසරනයන් වෙනුවෙන් කැමැත්තෙන්ම අවසර දුන්නා ඒ මිනිස්සුන්ගේ සැතපීමට.

03 වෙනිද සිද්දියට අමතරව තවත් බෝට්‍ටු කීපයක්ම මේ වගේ අනතුරු සිදු වෙලා තවත් විශාල ප්‍රමානයක් මිනිස්සු මිය ගියා,ආසන්නම සිද්දියක් උනා මෝල්ටාව ආසන්න මූදු තීරයෙත්,
පුවත් පත් වල කියන විදිහට මේ මිනිස්සු එන්නෙත් සල්ලි වියදම් කරලා, හැබැයි ආයේ එයාලගේ රටවලට යන්න බලාගෙන නෙමේ,,,එක්කෙනෙක් ඩොලර් 3000 පමන වියදම් කරනවා කියලා පුවත් පත් වල මම දැක්කා,අනික එන්නෙත් පවුල් පිටින්,,පුංචි දරුවෝ පවා,,සමහර ගැබිණි කාන්තාවන්ට බෝට්‍ටුව තුළදිම දරු ප්‍රසූතියන් පවා සිදු වෙලා තියනවා.මුල් මුල් ආපු මේ මිනිස්සුන්ට දේශපාලන ‍රැකවරන දීලා යූරෝ 500 මුදලකුත් දීලා යුරෝපේ කැමති රටකට යමල්ලා කියලා ඉතාලිය ඉඩ දුන්නා,,,ඒත් මිනිස්සු ගියාට ගොඩක් අය ආයෙත් ඉතාලියටම ඇවිල්ලා,මොකද මේ අයව ඒ රටවලින් බාර අරගෙන නෑ,අද ඉතාලිය මේ ප්‍රශ්නේ නිසා යුරෝපා සංගමේ ඉස්සරහා නාහෙන් අඩන තත්වෙට වැටිලා.
ශ්‍රී ලංකාව සහ බෝට්‍ටු...
මට අපේ අය දාපු බෝට්‍ටු සෙල්ලම් ගැනත් මතක් උනා මේ 03 වෙනිදා කියපු සිදු වීම පුවත් වලට කියනකොට අපේ රටේ නමත් ඇහුනු නිසා, ඒ තමා මේ සිදු වීමටපෙර ඉතාලියේ වැඩිම පිරිසක් ගිලුනු බෝට්‍ටුව අපේ රටෙන් ගිය එකක් වීම,ලාංකිකයන්,ඉන්දියානුවෝ,පකිස්තානුවෝ එකතුවක් තමා වාර්ථාවේ තිබිලා තියෙන්නේ ඒ 260 පිරිසක්, සිදුවීම 90 දශකයේ අවසන් කාලයේ වෙලා තියෙන්නේ.
අපේ අයට බෝට්‍ටු ලෙඩේ බෝ වෙන්න අර ගත්තේ 96 වගේ කාලේ,,ඒත් මේ බෝට්‍ටු ගියේ අපේ රටේ ඉදලා නෙමේ,අපේ අය සංචාරක වීසා මගින් නැගෙනහිර යුරෝපා රට වලට ගිහින් ඒ හරහා නැත්නම්,ග්‍රීසියට හෝ  ඊජීප්තුවට ගිහින් එතන ඉදන් බෝට්‍ටු මගින්,මේ බෝට්‍ටු වැඩේට පුරුදු උනේ ඊට පෙර තිබුනු දේශ සීමා පැනීම සම්පූර්නයෙන්ම නැවතුනු නිසා,ඒකට හේතුව ඒ ක්‍රමේ ඉතාලියත් අවට යුරෝපා රටවල් අතරත් ප්‍රසිද්ධ වීම,ඒත් හිමීට බෝට්‍ටු ක්‍රමේට යන්න අපේ අය පාර හදා ගත්තා.
හා හා පුරා කියලා නමෝ විත්තියෙන් වෙන්නප්පු මූදු තීරෙන් ට්‍රෝලරයක් පිටත් උනේ 97 වගේ,,ඒ ඉතාලියට නෙමේ ඕස්ට්‍රේලියාවට,ගමන් දෙක තුනකට වඩා යන්න බැරි උනා,එහෙ තියන නීති එක්ක මේ ගමන ඒ කාලේ නැවතුනා.
90 දශකයේ මුල් කාලේ බෝඩර් පැනීම හබක් වීමත් එක්ක අපේ අයත් මුලින්ම පුරුදු උනේ අද්‍රියාතික මුහුද හරහා බෝට්ටු දැමීම.ඒකට අපේ අය යොදා ගත්තේ සංචාරක හෝ අධයාපනික වීසා මගින් රුසියාවට හෝ නැගෙනහිර යුරෝපා රට වලට ගුවන් මගින් ගමන් කිරීම එතන ඉදන් යුගෝස්ලෝවියානු රටවලට ගිහින් අද්‍රියාතික මුහුද හරහා පොඩි බෝට්ටු මගින් ඉතාලියට ලගා වීම,,,ඒ පුංචි කන්ඩායම් වශයෙන්,මේක සම්පූර්න මෙහෙයවීම කලේ රුසියානුවෝ හෝ යූක්‍රේන ජාතිකයෝ.මේ බෝට්ටු වලට වගේම බෝඩර් පැනීමත් රුසියාවේ ඉදන් මෙහෙයවපු අපූරු චරිතයක් උන්නා,ඒ රුසියාවට වැඩි දුර ඉගෙනුමට ගිය සිසුවෙක්,ලංකාවේ මේ ගමන් සංවිධානය කරපු අයට මේ සිසුවව නැතුවම බැරි උනා,,අවසානෙදි තනිකර රුසියාව හෝ නැගෙනහිරි යුරෝපා රටවල් මෙහෙයවීම කලේ දයාල් නම් උනු එවකට මේ සිසුවා.දයාල් රුසියාවෙම පදිංචි උනා පස්සේ.මුලින් අද්‍රියාතික මුහුදේ මෙහෙයුම් අඩපන උනාම,ඊලගට පටන් ගත්තේ අර වගේම ග්‍රීසියට බෝඩර් පැනලා ගිහින් එතන ඉදන් බෝට්ටු මගින්,පස්සේ ඒකත් නැවතුනු ගමන් කලේ ඊජිප්තුවට ගෙනියලා සූවස් ඇළ හරහා බෝට්ටු මධයදරණි මුහුද හරහා ඉතාලියට ඇතුල් වීම.
ඇත්තටම ලංකාවේ මිනිස්සු ඉතාලි යවන්න වංචා කලාටවත්,මිනිස්සුන්ව අතරමග රටවල අතරමං කලා කියලවත්  කිසිම කෙනෙක් අදටත් මේ දයාල්ට බනින්නේ නෑ,දයාල් ලගට ගිය කෙනෙක් දයාල්ගේ හොද කියනවා මිසක් බනිනවා මම අහලා නෑ.ඉතා සූක්ශම මොළයක් පාවිච්චි කරලා මේ දේවල් කරන්නත් ලොකු ශක්තියක් තියෙන්න ඕනා.
මේ 97 වසර මේ වෙනකොට අර ගමන් හබක් වෙලා ඉවරයි.අපේ අයට දැන් අලුත් ක්‍රමයක් හොයා ගන්න වෙලා,අනික පොඩි පොඩි කණ්ඩායම් පිටත් කිරීම ප්‍රායෝගික වශයෙන් ඉතා අපහසු වෙලා තිබුනා.මම ඉස්සල්ලා කිවුවා නේ ඒ වෙනකොට ඕස්ට්‍රේලියාවට පටෝලා බැලුවා කියලා,,ඒ ගමන් පැත්තක දාලා මීගමු ධීවර වරායෙන් ඔන්න පටන් ගත්තා ඉතාලියට ට්‍රෝලර් පිටින් සෙනග පැටවීම,කොහොමත් 50 ආසන්න ප්‍රමානයක් පටවගෙන තමා ගමන ආරම්භ කලේ, අපේ රටෙන් පිටත් උනු ට්‍රෝලර් ආරක්ශාකාරිව ගොඩ බහින්න හේතුව තමා ඕනවට වඩා සෙනග පටෝගෙන නොයාම.නොගිලුනාම නෙමේ ඒත් ගොඩක් අඩුයි.
ඔන්න ඔය පලවෙනි බෝට්ටුවෙන් අපේ ගමේ කෙනෙකුත් ගියා,,එයා ගියේ අවට සේරම අයට කියලා ලොකු බෑග් එකකුත් අරගෙන,ගිහාම තමා දැනගෙන තියෙන්නේ බෝට්ටුවකින් යන්නේ කියලා,පස්සේ එයා හැරිලා එන්නත් හදලා,,ඒත්. ණයට අරන් සල්ලි ගෙවලා තියෙන්නේ,,,ඉතින් අර බෑග් එකත් විසි කරලා බෝට්ටුවට නැගලා තිබුනා,පස්සේ එයාගේ තාත්තා පන්සල්,පල්ලි ගානේ ගියා ඒ අයියා ගැන කිසිම ආරංචියක් නැතුව,,කොහොම හරි මාස 3 පස්සේ එයාගෙන් කෝල් එකක් ඇවිත් තිබුනා ඉතාලියට බැස්සා කියලා.පස්සේ එයා කියපු හැටියට ගොඩක් අමාරුවෙන් බෝට්ටුව මග කැඩි කැඩී ඒක හදා ගෙන තමා ගිහින් තියෙන්නේ,,,ඉස්සරහට කිලෝමීටර 5ක් ගියොත් බෝට්ටුව ආයේ ආපස්සට කිලෝ මීටර 8ක් විතර ගහගෙන යනවලු.කොහොම හරි ලංකාවෙන්ම පිටත් උනු සූවස් ඇළ හරහා ගිහින් ඉතාලියට ගිය මංගල බෝට්ටුව ඔහොම ගොඩ බහිනවා,මේ වැඩේටත් අර දයාල් අතර මැද ඉන්නවා ඒ තමා සූවස් ඇළ හරහා බෝට්ටුව පැන්නවීම.
මේ ගමන භයානක නිසා වැඩි පුර බෝට්ටු පිටත් වීමක් සිදු උනේ නෑ, ඒත් නොගියමත් නෙමේ,,හිමින් හිමින් තමා මේ කාලේ මේ වැඩේ උනේ.
ඔහොම කාලේ ගෙවිලා 99 අවුරුද්ද බෝට්ටු වල ස්වර්ණමය යුගය පටන් ගන්නවා,මීගමුව ඉදන් හලාවතට යනකන් මූදු තීරය ඉතාලියට පිටත් වෙන යූරෝ මූදු තීරුව බවට පත් වෙනවා,ලක්ශ 3 හමාරකට තමා මේ ගමනට උපරිම මිල ගියෙත්(අමතක කරන්න එපා 2002 යූරෝ එකක මිල උනේ උපරිම රු.80),බෝට්ටු ගාමිණී,සුසන්ත,බෝට්ටු රංජි ඔය කියන නම් ඉතාලියට සෙනග පටවන බෝට්ටු සංවිධායකයෝ විදිහට වෙන්නප්පුව පළාතේ ප්‍රසිද්ධ වෙනවා,දයාල් අයියා එහෙම ඒ වෙනකොටත් අර සූවස් ඇළ මෙහෙයුමේ ඉන්නවා,,එයා නැතුව යන්න ඉතාලි ගමනට මේ තරම් සාර්ථක වීමක් නෑ,අනික එයා තමන්ගේ ගම් වල මිනිස්සුන්ව නොමිලේ පවා ඉතාලියට යැව්වාඑයත් වෙන්නප්පුව ප්‍රදේශයෙම කෙනෙක් තමා.2000,2002 කියන්නේ මාසෙකට බෝට්ටු 2ක්,3ක් පිටත් උනු මාසත් තිබුනා,අදටත් අර මම කියපු බෝට්ටු සංචාරකයෝ ලොකු සල්ලිකාරයෝ,මේ කාලේ සිදු කරපු මේ ගමන් නිසා.බෝට්ටුවක ගිය ප්‍රමානය 50 දාලා ගාන හිතලා බලන්නකෝ.
මේ දේවල් ඔය මීගමු,හලාවත කලාපේ අතර වෙනකොට අපේ දකුනේ අයත් චූන් වෙනවා,එහෙනුත් බෝට්ටු කීපයක්ම පිටත් කරන්න එහෙ අයට පුලුවන් උනා,හැබැයි වෙන්නප්පුවෙ අයගේ සහයෙන්,වෙන්නපුවේ අයත් එහෙ ගිහින් මේ බෝට්ටු වලට නැග්ගා,,ඒත් ලොකු අනතුරක් එක්ක එහෙ ගමන් නැවතුනා,ඒ කිරින්ද ධීවර වරායෙන් පිටත් උනු ට්‍රෝලරයක් ගොඩ බිමින් පිටත් වෙලා සුළු වෙලාවකින්ම සෙනග වැඩි වෙලා මූදු බත් වීම,ඒ සිදු වීමෙන් 15 විතර කොල්ලෝ මිය ගියා,ඔය සිදුවීමෙන් රටේම ප්‍රසිද්ධ උනා මේ බෝට්ටු ගමන් ගැන.
තව දෙයක් මේ ගමන් වලට ඉහල සහයෝගය උපරිමයෙන්ම තිබුනා,පක්ශ විපක්ශ නැතුව,ඒ සහයෝග වලට එයාලගේ ගෝල බාලයන්ව පැටෙව්වේ අඩු ගානට,විපක්ශෙ අය මචෝ මගේ කොල්ලෝ මෙච්චරක් ඉන්නවා උන්ව දාපන් කියලා පක්ශෙ කෙනාට කියනවා,ඒ එක්කම මේ බෝට්ටු වලින් ගියේ සිංහල අය විතරක් නෙමේ,,,සිංහල,දෙමල,ඉන්දියානු,පකිස්තානු,බංගලිදේශ් සේරම සහයෝගෙන් ගියේ,2002 අලියා කට්ටියට බලේට ආපු ගමන්, වෙන්නප්පුවෙන් පාර්ලිමේන්තු ගිය අලියෙක්  දකුනේ කෙනෙක් එක්ක සෙට් වෙලා ඉන්දියාවෙන් භාවිතයේ ඉවත් කරපු නැවක් අරන් පලවෙනි පාරට ට්‍රෝලරයක් නෙමේ නැවක් පටෝනවා 400 ගානක් එක්ක,පක්ශෙ විපක්ශෙ ගහ ගත්තු ගෝල බාලයෝ එකට මේ නැවේ නැග්ගා,යාත්‍රාවක් අඩි 60 වඩා වැඩි උනාම නැවක් බවට පත් වෙනවා කියලා මම අහලා තියෙන්නේ,මේක 400 ගානක් පටවන්න කුඩා ප්‍රාමානයේ නැවක්,ඔය නැව ඉතාලියේ ගොඩ බහින්න ඉස්සල්ලම ඉතාලි නාවික හමුදාවට තොරතුරු ගිහින් තිබුනලු සූවස් ඇලෙන් පනිද්දිම,,ඉතින් ඕක මගින්ම ඉතාලි නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා,ලංකාවෙ නමත් ඉතාලියේ චාටර් උනා ඉතාලි ආන්ඩුවෙන් ලංකාවට දැනුම් දුන්නා වහාම මේ බෝට්ටු ගමන් නවත්වන්න කියලා,අපේ සැටලයිට් මැඩම් කර බාගත්තේ නෑ,,එන උන් සේරමන්වම ආයේ එවන්න කියලා ඉතාලි රජයට කිවුවා,,,ඒකෙන් උනේ එලියට දාන්න කදවුරු වල උන්නු අයවත් එක්ක ඒ කාලේ අහු උනු සෙට් එකක්ම ඉතාලියෙන් පිටුවහල් කලා සැටලයිට් මැඩම්ගේ කීමට.ඔය සිදුවීම් එක්ක ලංකාවෙන් බෝට්ටු ගමන් ආයෙත් නවතිනවා.
බෝට්ටු සහ අතුරු රැකියා.
මම ඉස්සල්ලා කියපු බෝට්ටු සංවිධායකයෝ අර අතර මග සහයෝගය දෙන අයට අමතරව මේකෙන් සල්ලි හම්බ කරන තව පිරිසක් උන්නා,මුලින්ම ලීසිං ගෙවා ගන්න අමාරු හෝ අබලන් වේගෙන ආපු ට්‍රෝලර් මේ ගමනට විකුනලා දාපු අය,ට්‍රෝලරේ ඇතුලේ ශීතකරන ගලවලා තමා මේ ගමනට යොදන්නේ,,ඒකෙන් තමා මිනිස්සුන්ට ඉඩ හදා ගන්නේ,අනික් විශේසම කෙනා තමා ට්‍රෝලරේ පදවන කෙනා,,එයාට කිවුවේ ස්කීපර,ස්කීපරට ලංකාවෙන්ම ඒ වෙලාවේ ලක්ශ 5,8 අතර ගානක් ගෙවන්න ඕනා,,එයාට කැමති නම් ඉතාලියෙන් නවතින්න පුලුවන්,සමහර අලුත් ට්‍රෝලර නැවත ලංකාවට හරෝගෙන ආපු ස්කීපරලත් ඉදලා තියනවා,එතකොට පඩිය ඩබල් වෙනවලු.ගොඩක්ම පරන ඒවා නම් ඉතාලි නාවික හමුදාවට අහු උනේ නැත්නම් ගොඩබිම කිට්ටු කරලා සෙනග බස්සවලා ට්‍රෝලරේ ගිල්ලවන එක තමා ගමනේ අවසානය වෙලා තියෙන්නේ.තව රැකියාවක් තමා බෝට්ටු සංවිධායකයන්ට ඉතාලි යන්න සෙනග හොයලා දීපු අය,එයාලට කොමිශන්,නැත්නම් 5ක් හොයලා දුන්නොත් එයාට නොමිලේ ඉතාලි යන්න පුලුවන්.තව රැකියාවක් තමා ගොඩක් අය මේ ගමනට පිටත් උනේ බාගයක් සල්ලි ගෙවලා,ඉතුරු බාගේ ඉතාලියට බැස්සම,සමහර අය බැස්සට එයාලගේ ගෙවල් වලින් අර ගොල්ලන්ට ඉතුරු සල්ලි දෙන්නේ නෑ,ඉතින් මේ ඉතුරු සල්ලි අරන් දෙන චන්ඩි සෙට් එකකුත් බිහි උනා,ලක්ශයක් දෙන්න තියනවා නම්,සංවිධායකට 80 ඉතුරු 20 චන්ඩියට.
තව ඉතින් ට්‍රෝලරේට කෑම සැපයීම් වගේ උවමනා දේවල් සැපයීමේ වෙලෙන්දන්.
මම මේ බෝට්ටු ගමන් වලට විරෝධයක් නෑ,ඒත් ඉතාලියෙදී ඒ කාලේ අහු උනු බොහෝ අය කරපු කැත වැඩක් තමා අපේ රටේ නම කැත කරන්න,තමන්ගේ නිදහසට ඉතාලියට බොරු කට උත්තර දීලා දේශපාලන රැක වරන ඉල්ලීම,සිංහල,දෙමළ දෙගොල්ලොම එක බෝට්ටුවේ ගිහින් කලේ රටේ නම විනාශ කරපු එක,ඒත් එක අතකින් මේ බෝට්ටු නිසා ගොඩක් අයට පුලුවන් උනා සල්ලි හොයාගෙන සල්ලි කාරයෝ වෙලා ලස්සනට ජීවත් වෙන්න.
ඉතාලියට ගියත් ඕස්ට්‍රේලියාවට ගියත් කොහෙ ගියත් මම මේ අනවසර ගමන් වලට විරෝධයක් නෑ,පුලුවන් නම් යමල්ලා කියන අදහසේ මම ඉන්නේ,ඒත් අද මම නම් බෝට්ටු ගමන අනුමත කරන්නේ නෑ,ගොඩක් අය කියන්නේ අපේ රටේ අය ඉතාලියෙ නම කැත කරනවා කියලා,ඒ මේ කරන දේවල් ඉක්මනින්ම ලංකාවේ මාධ්ය වලට මෙහෙ ඉන්න අයම යවන නිසා,ඔය එංගලන්තේ,ජර්මනියේ,ඕස්ට්‍රේලියාවේ,කැනඩාවේ හිර ගෙවල් වල අපේ අය නෑද,කවදාවත් ගුටි බෑට හුවමාරු ගිහින් නෑද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න,ලංකාවේ අයගේ මනුස්සකම නම් ගොඩක් දුරට අඩු වෙලා කියන එක ඇත්ත,ඒත් ඕනම සමාජෙක මම දකින්නේ කොටස් 3ක් ඉන්නවා,හිත හොද කරුනාවන්ත අය,නරක හිත් තියන මිනිස් කමක් අදුනන්නේ නැති අය,,මේ දෙකටම අතර මැද ඉන්න අය,මේ අය දුප්පත් පොහොසත්,උගත් නූගත් කියලා නෑ,සමහරවිට ඉතාලියේ ඉන්න නූගතා ලග තියන මනුස්සකම අහලකටවත් ලන් වෙන්න බැරි ඕස්ට්‍රේලියාවේ ඉන්න උගත්තු ඉන්න පුලුවන්.ඉතාලියට බෝට්ටුවෙන් ගිය නූගතා ලග තියන කරුනාව ලගට ඇමරිකාවට ග්‍රීන් කාඩ් එකෙන් ගිය උගතට ලං වෙන්නවත් බැරි අවස්තා තියෙන්න පුලුවන්.ඒත් සියල්ලන්ගේම අරමුන එකයි ලස්සන අනාගතයක්,ඒක නිසා බෝට්ටුවෙන් හෝ නොයෙක් අනවසර ක්‍රම වලින් බටහිර රටවලට අලුතෙන් යන මිනිස්සුන්ව පහත් කරන්න එපා.
මා දැකපු,මේ මාරාන්තික ගමනින් ඉතාලියට ආපු අයගෙන් අහපු සත්ය කතා මම මේ පෝස්ට් එකේ ලිවුවේ,සමහර විට මම නොදන්න දේ තව ගොඩක් තියෙන්න පුලුවන්. මගේ මතකයේ තිබෙන ගොඩක් දේ මම ලිවුවා,එහෙනම් බෝට්ටු කතාව ඉවරයි,හිතුනොත් මම දන්න බෝඩර් පැනීමේ කතාවත් ලියන්නම්.

(සැ.යු.නැවතුනු බෝට්ටු ගමන් ඕස්ට්‍රේලියාවට පටන් ගත්තත් එක්කම,මේ වසරේ ලංකාවෙන් බෝට්ටු කීපයක් ඉතාලියට ඇවිත් ඒ ආපු අය මේ වෙනකොට ඉතාලි රැදවුම් භාරයේ පසු වෙනවා,ඒත් පවතින තත්වය අනූව ඒ අයට මම හිතන්නේ නෑ සහනයක් ලැබේවි කියලා,ලංකාවට දැනට දේශපාලන රැකවරන ලබා නොදෙන පිලිවෙතක් යුරෝපා සංගමේ තියෙන්නේ,මේ බෝට්ටු පිටත් වෙලා තියෙන්නේ දකුණු මූදෙන්,ඇත්තටම එහෙ දේශපාලන හයිය මේවට නෑ කියන්න බෑ,ඔයාලා දන්න කෙනෙක් බෝට්ටු ගමනට එක් වෙන්න හදනවා නම් කරුණු පැහැදිලි කරලා දීලා ඒ ගමන නවත්වන්න,ඉතාලිය මේ වෙනකොට ඉතා තද නීති පද්ධතියක් හදාගෙන යන්නේ මේ බෝට්ටු සංක්‍රමනයට එරෙහිව)