Pages

Wednesday, October 1, 2014

ගරු අර්නස්ට් පෝරුතොට පියනම

අපි පෘතුගීසින්ගෙන් පැවත එන කතෝලිකයෝ නොවෙයි සිංහල කතෝලිකයෝ (අර්නස්ට් පෝරුතොට පියනම)

 
මම ඉතා ගරු කරන කතෝලික පියතුමෙක් තමා අර්නස්ට් පෝරුතොට පියතුමා,මෙතුමා ලාංකීය සිනමාවට කරලා තියන සේවයත් අති විශේසයි.එතුමා පුවත් පතකට කරපු සාකච්ජාවක් මට අහම්බෙන් අන්තර්ජාලෙදි කියවන්න ලැබුනා,,එය මගේ බ්ලොග් එක හරහා ඔබත් එක්ක බෙදා ගන්න හිතුවා,,ගරු අර්න්සට් පෝරුතොට පියතුමාට දීර්ඝායුෂ.....




ඔබ වහන්සේගේ සම්පූර්ණ නම?
 

පෝරුතොටගේ රේමන්ඩ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු.

උපන්නෙ?

1931 අගෝස්තු 31.

කොහෙද?

මාරවිල. තාත්තාගේ ගම බොරලැස්ස. නමුත් අපි ජීවත්වුණේ මාරවිල. ඒක ධීවර ගමක්. අපි ඉස්සර පල්ලියේ පූජාවට ගියේ ගෙවල් දොරවල් ඇරලා දාලා. එහෙම ගියයි කියලා ගෙදර තිබුණු පොල් ගෙඩි ටික නැති වුණෙත් නැහැ. කුකුළන් නැති වුණෙත් නැහැ.

ඔබ වහන්සේගේ පියා කවුද?

පී. ජේ. ප්‍රනාන්දු, ඒ කියන්නේ පෝරුතොටගේ ජෝකිනු ප්‍රනාන්දු. වෘත්තියෙන් ගුරුවරයෙක්. මග්ගොන ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළා. ඒ වගේම ඔහු ලේඛකයෙක්.

මව?

මේරි මාග්‍රට් පීරිස්. අම්මගේ ගම සීදුව.

පවුලේ කී දෙනා ද?

පහයි. මම තමයි වැඩිමලා. ඊළඟට ස්ටෙලා, මර්ලින්, ක්‍රිස්ටබල් සහෝදරියෝ තිදෙනා. අර්ල් එකම මල්ලි.

ඔබ වහන්සේ ඉගෙන ගත්තෙ?

හුඟ දෙනෙක් අහනවා මොන කොලේජ් එකේ ද ඉගෙන ගත්තෙ කියලා. ඉතිං මම බොහෝම ආඩම්බරයෙන් කියනවා මම ගියේ ගමේ ඉස්කෝලෙට කියලා. මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසල. මට මතකයි තාත්තා එක අතකින් ‘දිනමිණ’ පත්තරේ කියව කියව, අනෙක් අතින් මාව අල්ලගෙන ඉස්කෝලෙට එක්ක ගියා. තාත්තා තමයි මුල් ගුරුතුමා. තාත්තා පන්ති භාර ගුරුවරයගේ අතට වේවැල දාලා කිව්වා, වරදක් කළොත් මූට හොඳට තළන්න ඕනැ කියල. ඊට පස්සෙ මම ගමේම තිබුණු ෆ්‍රැන්සිස් ක්ෂේවියර් ඉංග්‍රිසි පාසලට ගියා. ජෝ ක්වින්ටස් පෙරේරා පියතුමා හිටියේ එතැන. බොහෝම උගත් ස්වාමි කෙනෙක්. ජූසේ වාස් පියතුමා ගැන ඉතාලි බසින් පොතක් ලිව්වෙ එතුමා. ඒක තමයි බලපෑවේ ජුසේ වාස් පියතුමා භාග්‍යවරයකු ලෙස ඔසවා තබන්න. පාප් වහන්සේ ලංකාවට ඇවිල්ලා උත්සවය පවත්වපු වෙලාවේ කුවින්ටස් ස්වාමිට ආරාධනාවක්වත් නැහැ. ඒ අපේ සභාවේ හැටි.

පියා ලේඛකයෙක් කිව්වනේ. මොනව ද ඔහු ලියපු පොත්?

‘කායික විද්‍යාව’, ‘සද්ධර්ම රත්නාවලි දීපිකා’, ‘සිංහල මෝස්තර නිර්මාණ’, ‘ඉගැන්වීමේ මූලධර්ම හා ක්‍රම’ යනාදි වශයෙන් පොත් ගණනාවක් ලියා තිබෙනවා. ඒ වගේම තාත්තා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මට මතකයි තාත්තා ගෙදර සිමෙන්ති පොළොවේ ලස්සනට හංස පූට්ටුව ඇඳලා තිබුණු ආකාරය.

මග්ගොන ඉද්දි තාත්තා එහි පාලක පියතුමා (මැසොං පියතුමා) එක්ක පොඩි ගෝරියක් දාගෙන තියෙනවා. මං හිතන්නේ පොත් ප්‍රකාශනය සම්බන්ධ සිද්ධියක් මත. ඒකට කරපු දඬුවමක් විදියට තමයි තාත්තව මාරවිල ඉස්කෝලෙට මාරු කළේ. තාත්තත් ආඩම්බරයි. මැසොං පියතුමත් ආඩම්බරයි. තාත්තා මාරුව හදාගන්න ගියෙත් නැහැ. උන්වහන්සේ මාරුව හදලා දුන්නෙත් නැහැ.

ඇයි ඔබ වහන්සේට පූජකවරයෙක් වෙන්න හිතුණේ?

එක වචනයකින් කිව්වොත් ‘සේවය’ සඳහා. ගිහියෙක් වෙලා හිටියනම් මං මේ කරපු දේවල් එකක්වත් මට කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් එකම දේ මේ කළ දේත් ප්‍රමාණවත් නැහැ කියන හැඟීමයි අද මට තියෙන්නේ.

පූජකවරයකු සමඟ ගැටුමක් ඇතිකර ගත් ඔබේ පියා ඔබ පූජකවරයෙකු වෙනවට කැමැති වුණා ද?

තාත්තා එකපාරටම ඇහැව්වේ “තෝත් ඒ හොර හැත්තට එකතු වෙන්න ද හදන්නෙ” කියලයි. ඒ කාලේ ගෙදර උයන කෑමවලින් කොටසක් පල්ලියට දෙන සිරිතක් තිබුණා. තාත්තා ගෙදර ආවම මුලින්ම අහන්නේ “යක්කුන්ට දොළ පිදේනිය දුන්න ද” කියලයි. ඒ තරමටම තාත්තා පූජකවරුන් එක්ක තරහෙන් හිටියේ. තාත්තා ඉරිදට පල්ලි යනවා. ඒත් ඇතුළට ගන්නේ නැහැ. පල්ලිය වත්ත එළියේ ගේට්ටුව ළඟ ඉඳන් සත්ප්‍රසාදය වැඩම කරන එක පේන තැනකට වෙලා පූජාව අහනවා. තාත්තට විශ්වාසයක් තිබුණේ නැහැ, මාව ස්වාමි කෙනෙක් වෙන්න භාර ගනියි කියලා. මොකද, ඒ වෙනකොට තාත්තාත් එක්ක දබර වුණු මැසොං පියතුමා තමයි කොළඹ රදගුරු.

ඉතිං ඇත්තටම එහිදි ප්‍රශ්නයක් ඇතිවුණේ නැද්ද?

මම මාරවිල පල්ලියේ ස්වාමිගෙන් ලියුමකුත් අරගෙන බිෂොප් පැලස් එකට ගියා. හේරත් පියතුමා තමයි අගරදගුරු ලේකම්. උන්වහන්සේ ලියුම කියවලා කිව්වා “මේක හරියට ආච්චිගේ වානේ කෑල්ල හංගගෙන පිහිය තළලා දුන්නා වගෙ වැඩක්. වැඩේ නොකෙරෙන්නයි ලියුම ලියලා දීලා තියෙන්නෙ” කියලා. එහෙම කියලා ලියුම විසි කරලා දැම්මා.

ඊට පස්සෙ බිෂොප් මැසොං ගාවට මාව යැව්වා. උන්වහන්සේ මගෙන් ඇහැව්වා, බජිරි කන්න පුළුවන් ද කියලා. මොකද ඒ කාලේ යුද්ධ කාලේ. ඊට පස්සේ ‘උඹ කාගේ කවුද කියලා’ ඇහැව්වා. මම කිව්වා ‘මම පී. ජේ. ප්‍රනාන්දු ඉස්කෝලේ මහත්තයගේ පුතා’ කියලා. එතකොටම වගේ උන්වහන්සේ කිව්වා ‘ආ එහෙනම් මූ හොඳ එකෙක් වෙන්න ඕනැ’ කියලා. මොකද මොන ප්‍රශ්න තිබුණත් උන්වහන්සේ තාත්තට ගරු කළා.

කොහෙද පූජකවරයෙක් වීම සඳහා ඉගෙන ගත්තෙ?

මුලින්ම බොරැල්ල ශාන්ත ඇලෝෂියස් දෙව් සත්හල (1944 - 1950) ඒකට කියන්නේ පුංචි සේමනේරිය කියලා. ඊළඟට ශාන්ත බර්නාදු දෙව් සත්හල (1950 - 1955) ඒක මහ සෙමනේරිය. අවසානයට අම්පිටිය ජාතික දෙව් සත්හල (1955 - 1957). ඔස්වල්ඩ් ගෝමිස්, අබා කොස්තා, ඔස්කා අබේරත්න, ටියුඩර් වනිගසේකර, බෙනඩික්ට් ජයතිලක වගේ පූජකවරු එදා මාත් එක්ක එකට ඉගෙන ගත් අය. රැලෙක්ස් රණසිංහත් සෙමනේරියේ හිටියා. ඒත් ෆාදර් කෙනෙක් වෙන්න බැහැ කියලා එයා ගියා.

ඔබ වහන්සේ පූජාත්වරය ලැබුවේ?

1957 පෙබරවාරි 02.

මොන මොන මීසම්වල ද ඔබ වහන්සේ වැඩ කරලා තියෙන්නෙ?

දෙහියගාත, කැලණිය, කළුතර කලමුල්ල, කෝට්ටේ, වත්තල, දෙහිවල, කඩවත කිරිමැටියාගාර යන මීසම්වල වැඩ කළා. ඒ වගේම එක එක ටයිටල් දරලා තියෙනවා. ඒ පංපෝරි වැඩක් නැහැනේ. ඒවා වෙන අය ලියපුවාවේ. හැබැයි එක තනතුරක් ගැන මට බොහෝම සතුටින් කතා කරන්න පුළුවන්. ඒ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 - 1982)

මං හිතන්නේ ඔබතුමා වඩාත් ප්‍රකට සිනමාව හා සම්බන්ධයෙනුයි.

ඔව්. සිනමාවත් එක්ක මගේ ලොකු බැඳීමක් තිබුණා. මං ‘ඥානාර්ථ ප්‍රදීපය’ පත්තරේට සිනමා විචාරත් ලිව්වා. සිනමාව ගැන පොතුත් ලිව්වා. ‘චිත්‍රපට ගැන’, ‘චිත්‍රපට වාර්ෂිකය’ පොත් පෙළ ඊට උදාහරණ. එකල අපිට පුළුවන් වුණා සිංහල සිනමාව වෙනුවෙන් තීරණාත්මක වැඩ කොටසක් කරන්න.

කතෝලිකයන්ට සංස්කෘතියක් නැහැ කියලනේ සමහරු කියන්නෙ?

අපි තුප්පහි කියලා කියන එවුන්ට වැඩිය සිංහලකමක් පුංචි කාලේ ඉඳන්ම මගේ තියෙනවා. අපි රෝමානු කතෝලිකයෝ නෙමෙයි සිංහල කතෝලිකයෝ. අපි පෘතුගිසියෙන් කතෝලික සමය වැලඳ ගත් අය නෙමෙයි. අපි අනුරාධපුරේ කුරුස පරම්පරාවෙන් එන කතෝලිකයෝ. අනුරාධපුර යුගයෙන් සොයා ගත් කුරුසිය අපේ අතීත උරුමයේ ලාංඡනයයි. හයවැනි සියවසේදී මෙරට කිතුනු දෙව් මැඳුරක් තිබු බව ද සීගිරි යුගයේදී මෙරට කිතුනුවන් සිටි බව ද කියැවෙනවා.

පෘතුගිසි, ලන්දේසි හා ඉංග්‍රිසිකාරයෝ මේ රටට ඇවිත් කරපු බලුකම්වලට අපිත් විරුද්ධයි. අපිව පාලනය කරන්න ඔවුන්ට තියා රෝමයටවත් බැහැ. රටක සංස්කෘතියක් පිරිහෙන්නේ එහි අනන්‍යතාවයේ හා පෞරුෂත්වයේ ප්‍රබල - දුබලකම් උඩ. අපේ සංස්කෘතිය පිරිහෙන්න පටන්ගත්තේ ඉංග්‍රිසි, හින්දු, මුස්ලිම් බාහිර බලපෑම නිසා නොව අපේ අනන්‍යතාව හා පෞරුෂය කුමක් ද කියා හඳුනා නොගෙන ඔළුව කෙළින් තියාගෙන හමායන සුළංවලට ගසා නොයන සේ කකුල් මහ පොළොවේ තියාගෙන ඉන්න බැරිකම නිසයි. අද අපි දේශීය වෙලා තිබෙනවා. අපි ලතින්වලින් තිබුණු යාච්ඤා ඒ වගේම ගීතිකා දැන් සිංහලෙන් කියනවා. ඒ කාලේ පල්ලියේ පූජාවල් තිබුණේ ලතින් භාෂාවෙන්. පූජාවට උදව් වුණු මම සිංහලෙන් ලියා ගත් ලතින් වචන කටපාඩම් කරගත් ආකාරය අදත් මතකයි.

පල්ලියට මුලින්ම ගොක්කොළ, මඟුල් බෙර ගෙනාවේ ඔබ වහන්සේ බව කියැවෙනවා.

ඔව් ඒක සිද්ධ වුණේ 1967 දී මීගමු බෝලවලාන පල්ලියේ පවත්වපු විවාහ මංගල්‍ය උත්සවයක් වෙනුවෙන්. මා එයට බෙරයත් ගොක්කොළත් එක්කළා. මේවට සමහර සිංහල ස්වාමිලා විරුද්ධ වුණා. මං ඒ විරුද්ධත්වය තඹේකට ගණන් ගත්තේ නැහැ. නමුත් ඒ කාලේ හිටපු ෆිලික්ස් මෙවෙල් කියන ප්‍රංශ ස්වාමි මේකට මට අවසර දුන්නා.

අපවත්වී වදාළ මාපලගම විපුලසාර හාමුදුරුවෝ ඔබ වහන්සේගේ සමීප මිතුරකුව සිටියා?

අපොයි ඔව්. උන්වහන්සේ 1955 දි ජාතික කලා පෙරමුණ කියලා කලා සංවිධානයක් ගොඩනඟා ගත්තා. මාරවිල කේ. ඩී. එල්. ඊ. පෙරේරා නම්වූ චිත්‍ර ශිල්පියා ලවා පල්ලියට, නත්තල් කාඩ්වලට දේශීය චිත්‍ර ශෛලියක් හඳුන්වා දීමෙහිලා උන්වහන්සේ පිටිපස්සෙන් හිටියා. 1972 දී 6 වැනි පාවුළු පාප් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ සියලු සැරසිලි කටයුතු භාරව සිටියේ විපුලසාර හාමුදුරුවෝ. මං කෝට්ටේ ඉද්දි පල්ලියේ පූජාවට උදව් කරපු ළමයෙක් දැන් හාමුදුරු කෙනෙක්. ඒක එයාගේ කැමැත්ත. අදටත් එනවා මාව බලන්න.

සමහරුන් කතෝලික ආක්‍රමණයක් ගැනත් චෝදනා නංවනවා. විශේෂයෙන් කතෝලික පාසල් හරහා සිදුවන.

මේ ඉන්න කතෝලිකයෝ ටික අපිට හොඳටම ඇති. එක බෞද්ධයෙක්වත් කතෝලිකාගමට හරවගන්න අපිට වුවමනා නැහැ. කතෝලික සභාවෙන් කැඩුණු බයිබල් සමාගම් 600 ක් විතර ලෝකයේ තියෙනවා. ඒ අය නඩත්තු වෙන්නේ ඇමෙරිකාවෙන්. ඔවුන් කරන වැරදිවලට අපි පළි නැහැ. ඔවුන්ට පහරදෙන කොට අපිටත් වඳිනවා. මොකද ඔක්කොමල්ලා අනුගමනය කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ නිසා.

ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය ගැන ඔබතුමා මොකද හිතන්නෙ?

ක්‍රිස්තුන් වහන්සේ විප්ලවවාදියෙක්. පැවතුණු සමාජ, දේශපාලන ක්‍රමයට හා ආගමික සංස්ථාවන්ට එරෙහිව කැරලි ගැසු විප්ලවවාදියෙක්. උන්වහන්සේට ඕනැ කළේ පව්කාරයන්ට ගල් නොගසන සමාජයක් බිහි කරන්න.

ක්‍රිස්තු තුමා දඹදිවට වැඩම කළා කියලත් සමහරු කියනව නේද? ඒක ඇත්තක් ද?

එසේ පැමිණි බවට සාක්ෂි තවම හොයාගෙන නැහැ. නමුත් අනුමාන කරන්න පුළුවන්. මතයක් වශයෙන් කෙනකුට එවැන්නක් ඉදිරිපත් කරන්න බැරිකමක් නැහැ.

ඔබ වහන්සේ සකලවිධ වාරණයන්ට විරුද්ධ කෙනෙක් බව අපි අහලා තියෙනවා.

ඔව්. තහනමට විරුද්ධව මා ප්‍රසිද්ධියේම කතා කර තිබෙනවා. ගැලිලියෝ වැනි විද්‍යාඥයන්ට එරෙහිව ගත් වැරදි වාරණ තීන්දු අවුරුදු 450 කට පස්සේ ඉල්ලා අස්කරගන්න ලෝක කතෝලික සභාවට සිද්ධ වුණා. ඒක තමයි යථාර්ථය. තිස්ස බාලසූරිය පියතුමා මරිය තුමි ගැන ලියු පොත තහනම් කරන්න උත්සාහ කළත් අන්තිමෙට වුණේ ඒ තහනම පුස්සක් වීමයි. දේව මෑනියන් පිළිබඳ එතෙක් තිබූ සූකිරි, මී පැණි, මල් පියලි ආකල්පයට ප්‍රබල කුළු පහරක් මේ පොත මඟින් එල්ල කර තිබුණා. මරිය තුමි මැදපෙරදිග, නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරමින් වෙහෙසෙන කාන්තාවක් බව නිර්භයව කියන්න පුළුවන් ශක්තියක් බාලසූරිය පියතුමාට තිබුණා.

සාමාන්‍ය පිළිගැනීම නම් කතෝලික පූජකවරුන් ප්‍රතිගාමි පිරිසක් ය යන්නයි?

අපිටත් දේශපාලනය වෙනුවෙන් ජීවිතය පූජා කළ මයිකල් රුද්‍රිගු වැනි පූජකවරු හිටියා. නමුත් ඕනැම දේශපාලනයක් කරන්න පූජකත්වය අපිට බාධාවක් නෙමෙයි.

ඔබ වහන්සේ දැන් විශ්‍රාමිකයි.

ඔව්. මං දැන් මොරටුව ලුනාව ශාන්ත පේදුරු - පාවුලු පල්ලියේ විශ්‍රාමික ජීවිතයක් ගත කරනවා. අපිව නඩත්තු කරන්නේ කතෝලික සභාවෙන්. ඒකට වෙනම අරමුදලක් තියෙනවා. නමුත් කනගාටුවට කාරණය සභාව අපිව අතහැර දාලා තියෙනවා, කොන් කරලා දාලා තියෙනවා. අපෙන් කිසිම දෙයක් අහන්නෙත් නැහැ. අපෙන් කිසිම උපදේශයක් ගන්නෙත් නැහැ.

ඔබ වහන්සේගේ දැන් දින චර්යාව කොහොම ද?

මං උදේ පහ හමාරට, හයට විතර නැගිටිනවා. නැගිටලා තනියම තේ එකක් හදාගෙන බොනවා. නිවුස් අහනවා. පත්තර බලනවා. පොත් කියවනවා. දවසට පැය දෙක තුනක් ලියනවා, ආගමික මෙහෙයක් තිබෙනව නං ඒකට සහභාගි වෙනවා.....



කතෝලික සභාව යනු කතෝලික ජනතාව බව අදහන එතුමාගේ අදහස ඒ ජනතාව ගේ හෘද ස්පන්දනය හා සිතුම් පැතුම් අනුව මුලු මහත් කතෝලික සභාවම ක්‍රියාකළ යුතු බවයි. පුංචි කාලේ හිතූ හැටියටම කොළඹ පදවියේ විතරක් නොවෙයි, ලෝකයේම නම රැන්දූ රටට වැඩදායී පූජක ප්‍රසාදිවරයකු බවට පත් වීමේ වරම් ලැබූ අර්නස්ට් පෝරුතොට පියතුමාට එදා උපන්ගමේ පල්ලියෙන් විශාල ලෙස උපහාර ලැබුණා. මුලින් පැවිදි දිවියට අකැමැති වූ ඔහුගේ තාත්තා පසුව තමාගේ උතුම් වූ පුත්‍රයා පිළිබඳ මහත්වූ අභිමානයකින් යුතුව කතා කළා.

සුනිල් මිහිඳුකුල

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

5 comments:

  1. Machan, ubata keeyak wage gewanawada ban may wage wihilu dewal liyanawata?
    Mama may ahuwe denaganna, mamath harma amaaruwen eda wela geta gahaganne. Ubata Italy panaganna meyaala sup eka dunna wente!

    -Sinhala Katholilaya

    ReplyDelete
  2. වටින ලිපියක්... ඇන්ඩෘෘ ජයමාන්නයන්ගෙ අවමංගල දිනයේ පෝරුතොට පියතුමා ආවා.. වයස්ගත බව නිසා ඇතිවන දුර්වලතා ඇරුණම එතුමා නිරෝගියි. ප්‍රියප්‍රසන්නයි.

    එතුමා සඳහන් කරන ප්‍රංශ ජාතික ෆීලික්ස් මෙවල් පියතුමා තමයි මුලින්ම ලංකා ක්‍රිස්තු වීරයෝ ( අද ළමා ක්‍රියාකාරී වීරයෝ) පටන් අරන් තියෙන්නෙ 1954 දි.

    ReplyDelete
  3. මම මේක කලින් කියෙව්වා. ඇත්තටම බං මේ වගේ මිනිස්සු තමා උඩට වෙලා අපි දිහා බලාන ඉන්න ඕන.

    ReplyDelete
  4. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete