Pages

Sunday, November 24, 2013

ඉන්දියෝ,පක්කෝ,පිල්ලෝ,බංගලියෝ සහ අපි

                

                 ඔය උඩ සෙට් එක ඒ කියන්නේ ඉන්දියානුවෝ , පකිස්තානුවෝ, පිලිප්පීනුවෝ, ශ්‍රී ලාංකිකයෝ නැති රටක් අද ලෝකෙ හොයන්න අමාරුයි,මම හිතන්නේ ලෝකෙ මේ ජාතින් වල කෙනෙක් නැති රටක් හොයන්නම බෑ.ඒ තරමටම මේ කස්ටිය ලෝකෙ පුරා විසිරිලා ඉන්නවා,ඒ නිසාමද කොහෙද මේ කියන ජාතින් සෙට් එක ඉන්න ඕනම රටක තියන පොඩි ලෙඩක් තමා රැකියා වලට තියන තරගය එක්ක ඇති වෙන හැල හැප්පීම්,ඒ එක්කම ජාතීන් එකිනෙකා රුස්සන්නේ නැති ගතිය,ඒක වැඩි පුරම තියෙන්නෙත් ලාංකිකයන්ට සහ ඉන්දියානුවන්ට මම දකින විදිහට, ඔය අපේ බ්ලොග් අවකාශෙත් මම දැකලා තියනවා පෝස්ට් තිබුනා ඉන්දියානුවෝ ඊර්ශියාකාර,අපිරිසිදු ,අනුන්ගේ දේවල් හොයන,කෑමක් කන්න දන්නේ නැති, මහ සත්තු වගේ ජාතියක්ය,,පිලිප්පීනුවෝ කිසි කමකට නැති අපිරිසිදු,චාරයක් නැති ගණිකා වෘත්තිය කරන ජාතියක්ය,බංගලිදේස්,පකිස්තානුවෝ කස්ටිය නාන්නේ නැති කන්න දන්නේ නැති අපිරිසිදු ජරා ජාතියක්ය වගේ කතා,  බ්ලොග් අවකාසෙට අමතරව අපේ අයගේ කතා බහෙනුත් ඕනා තරම් අහන දේවල් මේ.
                ඉතින් ඔය කියන මිනිස්සු අපි කියන තරම්,හිතන තරම් නරක මිනිස්සුද?,,,ඔය මිනිස්සු අපි ගැන කොහොම කියනවද කියලා මම දන්නේ නම් නෑ, මගේ වසර 7 ඉතාලි ජීවිතේ ඔය කියන ජාතීන් සහ තවත් අමතර ජාතීන් රාශියක් මට මුන ගැහිලා තියනවා, කතා බහ කරලා තියනවා,ආශ්‍රය කරලා තියනවා,,යම් යම් පුද්ගලයන්ව අදටත් ආශ්‍රය කරනවා,ඒත් මට නම් ඔය කිසිම කෙනෙක්ගේ කියන්න තරම් මහා ලොකු වැරදි දැක්කේ නෑ, ඒ එක්කම මට කල්පනා උනේ අපි ගෙවල් පිරිසිදුව තියන් ඉන්න, අනුන්ගේ දේවල් හොයන්නේ නැති, කාටවත් ඊරිශියා කරන්නේ නැති,කිසිම රටක අපේ කාන්තාවෝ ගණිකා වෘත්තියේ යෙදෙන්නේ නැති 100% අංග සම්පූර්න ජාතියක්ද කියලා.අපි අරුන්ට බැන්නට ඔය ලෙඩ අපිටත් තියනවා නේද?
                 ගජේන්ද්‍රන් මට මුන ගැහුනු මුල්ම චරිතයක්,මම ඉතාලියට ඇවිත් සතියක් විතර ඇති මුලින්ම මෙයාව දකිනකොට, අපේ ගේ ගාවින් එහා මෙහා ගිය අපේ ගේ අසල පදිංචි වෙලා උන්න කෙනෙක්,මුල් දවස් වල මම මෙයා එක්ක හිනා උනාට පොර අහක බලන් ගියා,අපේ අම්මගෙන් අහනකොට කිවුවේ මිනිහා දෙමළ කෙනෙක් මෙතනින් ගියාට හිනා වෙන්නේ කතා කරන්නේ නෑ අහක බලන් යන්නේ කියලා,තව දවසක් දෙකක් මම බලෙන්ම හිනා උනා,,ඔන්න පොරත් හිනා වෙන්න ගත්තා,,ඔහොම යනකොට සුභ පතන්නත් ගත්තා,ඔන්න පොර ගෙදර අනික් අය එක්කත් සුභ පතන්න අත වනාගෙන යන්න පුරුදු උනා.කතා කරන්නත් ගත්තා,,මමත් ඒ වෙනකොට වචනයක් දෙකක් ගොතාගෙන ඉතාලි කතා කරන්න පොඩ්ඩක් පුලුවන්,මිනිහා යාපනේ,එකම රටේ වෙලත් අපිට ඉතාලි භාශාවෙන් කතා කරන්න උනේ,මිනිහා එක්ක මම යුද්ධ ගැන අරවා මේවා කතා කලේ නෑ,,පොර ඒත් ක්‍රිකට් පිස්සා,සනත්ට,මුරලිට මැරීගෙන උන්නේ,ටික දවසකින් පොර ඉතාලියේ ඉදන් කැනඩාවට ගියා,ඒ යනකොට මට මිනිහගේ පාට් ටයිම් ජොබ් එකක් දීලා ගියේ,ඉතාලියේ මගේ මුල්ම රැකියාව මිනිහා දුන්නු පාන් කඩේ සුද්ද කිරීම,පොඩි කතා බහකින් තේරුනා මිනිහා එල්ටීටී පැත්තට බරයි කියලා නම්.ඒත් මම ඕවා හාරන්න අවුස්සන්න ගියේ නෑ.
                සෙනගල් ජාතිකයෙක් උනු බූබ්බා මට වඩා පට්ට කලුයි,උගේ සුදුවට දැක්කේ දත් සෙට් එක විතරයි,මගේ තවත් පාට් ටයිම් ජොබ් එකක් කරන තැනක් අසල නොයෙක් නොයෙක් ජාතියේ විසිතුරු බඩු,හෑන්ඩ් බෑග්,පර්ස්,සන් ග්ලාසස් විකුනපු කෙනෙක්,ටික දවසකින්ම මිනිහා එක්ක හිතවත් උනා,මේ පාට් ටයිම් එක තිබුනේ පොඩ්ඩක් දුර මගේ නිවසේ ඉදලා මිනි 45 විතර ගමනක්,,මම වැඩ ඉවර වෙන වෙලාවටම බූබ්බත් පොරගේ බඩු අස් කරගෙන කෑලි හෙලෙන බෙන්ස් එකකට පටවනවා,දවසක් බස් එක නැතුව පොර මට කතා කලා උගේ බෙන්ස් එකේ යන්න,,එදා ඉදන් ඒ පාට් ටයිම් එක කරලා යන්නේ බූබ්බගේ බෙන්ස් එකේ,මට ඉදගන්න විතරයි පොඩි ඉඩක් හදන්නේ,බෙන්ස් එක පිරෙන්න උගේ බිස්නස් බඩු.විහිලු තහලු මැද්දේ මූත් එක්ක මම ගෙදර එනවා.
                 ජූන් සහ ඇන්ඩි දෙන්නම පිල්ලෝ,මම වැඩ කරපු රෙස්ටුවරන්ට් එකක පිගන් හේදුවේ උන් දෙන්නා උන් දෙන්නට අමතරව කුස්සියේ මමත් එක්ක තව ලංකාවේ උන් 3යි,ඉතාලි ලොකු චෙපයි,විකාර ලෝකයයි,මේ රෙස්ටුවරන්ට් එක තිබුනෙත් මගේ ගෙදර ඉදන් පැයක විතර දුර බස් එකේ,,අනික වැඩ තිබුනේ සවස 6 ඉදන් පාන්දර 2,3 වෙනකන්,,ඔය වෙලාවට මට ගෙදර එන්න එකක් තිබුනේ නෑ,මුල් දවස් වල අපේ එකෙක් එක්ක නැගගෙන ආවා දවස් කීපයක්,මූ එන ගමන් පෙට්‍රල් ගහන්න යන්න ගත්තා හැමදාම,ගිහාම මල්ලියා මාරු සල්ලි තියනවද අහනවා,මූ නොකියම මගෙන් හැමදාම ගානක් ගන්න ගත්තා,දවසක් මූ නැතුව මාව ජූනයි,ඇන්ඩියයි උන්ගේ කාර් එකේ දාගෙන ආවා,,අර අපේ එකාට දුන්නු මාරු සල්ලි මුන්ට දෙන්න ගිහින් හොද කුණු හරප අහ ගත්තා,උබට පිස්සුද ආයේ වරෙන් අපිත් එක්ක යන්න,අපි උබව ඔලුව උඩ තියන් නෙමේ යන්නේ,ඇත්තටම ඔතන වැඩ කරපු තවත් එකෙක් දිනේශ් අයියා, ඒ හරියෙම පදිංචි පොරක්,,මිනිහා මාව දවස් කීපයක්ම පොරගේ කාර් එකේ ගෙදරටම ගෙනත් ඇරලා ආයේ හැරිලා ගෙදර ගිය එකෙක්,,ඌත් එක්ක යාලු කම අදටත් තියනවා,ජූනා සහ ඇන්ඩියා එක්ක යන ගමනෙදි සෙනසුරාදා රෑට තවත් අපූරු චරිත දෙකක් හම්බෙනවා හිටි ගමන්,,උන් දෙන්නා අපේ යාලුවෝ උනා සෑහෙන කාලයක්,යාලුවෝ දෙන්න තමා නයිජීරියානු කෙල්ලෝ දෙන්නෙක්,ඔය පාන්දර දෙන්නා එන්නේ ලෝකෙ පරනම රස්සාව කරලා,උන්ටත් ඒ පැත්තේ ඉදන් එන්න බස් නෑ,,අන්තිමට උන් දෙන්නා සෙනසුරාදට ඒ හරියට වැඩට එනවා නම්,,මේකිලා දෙන්න අපි එනකන් බලන් ඉන්නවා,අන්තිමට ජූනා මුන් දෙන්නට කෑම පාර්සලේකුත් ඔතන් එන්න ගත්තා,මොකද උන් දෙන්නව ගෙනියන උන් රෑට කන්නවත් දෙන්නේ නෑ කියලා දුක කියලා ජූනගේ හිත උණු උනා.ජූනා නම් ආයේ පිලිප්පීනෙට ගියා ඇන්ඩියා නම් තාම මට හිටි ගමන් හම්බ වෙනවා,,දැකපු ගමන් වරෙන් කෝපි එකක් බොන්න යමු කියලා අදටහ් බලෙන් ඇදගෙන යන්නේ.
                       ප්‍රකාස්,කෙවින්,මොහොමඩ්,කලීල් ඔය මට මුන ගැහිලා තියන පකිස්තානු,ඉන්දියානු බංගලි චරිත සමහරක් උන් එක්ක මම වැඩ කරලා තියනවා,මොහොමඩ් බූබ්බා වගේ පාරේ විසිතුරු බඩු විකුනපු එකෙක්,තවත් චරිත රාශියක් තියනවා ඔය වගේ,ඇත්තටම මට මුන්ගේ කියන්න තරම් මහා ලොකු වැරදි තිබුනේ නෑ,තවත් කලු චරිතත් ඕනා තරම් මුනැ ගැහිලා තියනවා,,,වැඩ කරන තැන් වල ඉතාලි කාරයන්ට කේලම් කියන,ගිණි ගෙඩි දෙන උනුත්,ඒ උනාට එහෙම උන්ව නිකන්ම ඒ තැන් වලින් කැපිලා ගියා.
                  ඉතාලි චරිතත් ගොඩක් ඉන්නවා ඉතා අපූරු මිනිස්සු,මම දැන් සීයා කෙනෙක් බලා ගන්න ජොබ් එකක් කරන්නේ,,ඒ සීයගේ පුතා,පලාත් උසාවියක සිවිල් නඩු අංශේ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයෙක්,හැම ඉරිදම මාත් එක්ක කෝපි බාර් එකේ කෝපි එක ,කපුච්චීනෝ එක ගහන පොර,හිටි ගමන් සවස මාව ඇදගෙන ගිහින් කොක‍්ටේල් එකත් ගහනවා,ඒ වගේම අපේ තාත්තා රෙදි මදින්න යන නැව් කමාන්ඩර්,පොරගේ ගමන පයින් ගොඩ බිමේදී නම්,,ඒ උනාට පට්ට සල්ලි කාරයා,හිටි ගමන් මාව පාරෙදි දැක්කොත් කෝපි බාර් එකකටම ඇදගෙන යනවා කෝපි එක බොන්න,ලංකාවේදි නම් මගේ තත්වේ අනූව කවදා මහේස්ත්‍රාත්වරු,කමාන්ඩර්වරු එක්ක එකට ඉදගෙන කෝපි බොන්නද හීනෙන්වත් එහෙම වෙන එකක් නෑ.ඔය වගේ ඉතාලි චරිත විශාල ප්‍රමානයක් මට හමු වෙලා තියනවා තවත් ඉස්සරහටත් හමු වේවි නියම මහත්වරු.
                 අපේ රටවල ජාති,ආගම් ප්‍රශ්න ඇති වෙන්නේ මොකද කියන එකට මූලික හේතුව අපේ හිත් වල තියන විකාර අදහස් නේද කියන එක මම ඉතාලි ජීවිතේ තේරුම් ගත්තු දෙයක්,ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට එබීමයි,උන්ගේ ජීවිත රටාවට ඇගිලි ගැහීමයි වගේ සීමාව පැනලා ගිහින් අපි ඔලු විකාර කර ගෙන,නොයෙක් ජාතින් එක්ක තරහා වෙන්න බලනවා මහා හේතුවක් නැතුව,අපේ රටේම ඉන්න අපේ සහෝදර ජාතීන් වලමිනිස්සු එක්ක තරහා වෙන්න යනවා,තරහා වෙලා ලොකු යුද්ධෙකුත් කලා මිනිස්සු විශාල ප්‍රමානයක් රටට නැති උනා,ඇත්ත උන්ගෙත් ඉන්නවා විකාර ඔලුවේ දා ගත්තු උන්,අපි එකිනෙකාට ගරු කරන්න ගත්තොත්,එකිනෙකා අතර යහපත් සම්බන්ධතා පවත්වා ගත්තොත් මේ ප්‍රශ්න ගොඩක් අඩු වේවි.

                 

27 comments:

  1. නියම ලිපියක් ඩිලා......අපේ මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ගෙ වැරදි පේන තරමට අපේ තියෙන වැරදිත් පෙනුනනම් අපේ රටට මෙහෙම වෙනවද බං

    ReplyDelete
  2. අපේ ආගම සදාචාරය අරක මේක කියා කියා අපි අදහන්නේ කිසිම ආගමක ඇති ගැඹුරු හරය නෙවෙයි. කිසිදු සංස්කෘතියක තිබෙන තමන්ට හානියක් නොවන, අනෙකාගේ හැසිරීම ඉවසා සිටීම සහ සහජීවනය නෙවෙයි. මොකක්දෝ මහා මූලධර්මවාදී කුණුහරපයක්.

    ReplyDelete
  3. අනිත් ජාතීන්ගේ දුර්වලකම් උළුප්පා කතා කරන අපි අපේ ඇහේ ඇති පොල් පරාල දකින්නේ නෑනෙ.. රටවල් බොහොමයක වැඩකල තාමත් කරන මගෙ අත්දැකීමත් ඕකම තමයි.. අපි හොඳ නම් ඔක්කොම හොඳයි..

    ReplyDelete
  4. මරු විග්‍රහය ඩිලා...

    මෙතනදි වෙන කේස් එකක් තියෙනව හැබැයි... මේ “ අපේ රටේ” ඉන්නකොටයි, අපිම පිට රටකට ගියාමයි නිකම්ම මානසික තත්වය වෙනස් වෙනව... ඒකයි එහෙදි පාර අතුගෑවත් මෙහෙ ඇවිත් පාර අතුගාන කෙනාව පහත් කරලා කතා කරන්නෙ... සිංහල මිනිස්සුන්ගේ දෙමල අය ගැන තියෙන හැඟීමත් ඒ වගේ... හැබයි ඩිලා මං දන්න විදියට ඉස්සර දෙමල අය සිංහල අයටත් බෙදලා තියෙන්නෙත් ඔය හැන්දෙන්මයි... එතකොට උඩරට, පහත රට කේස්.. ඕවා ඔක්කොම ලෙඩ විතරයි... ඒත් ඉතිං ලෙඩ නැති සමාජ කොහෙද තියෙන්නෙ....

    ReplyDelete
  5. මහන්තත්වේ තමයි බොහෝ ගැටුම් වලට මුල. මේ ගමේ මිනිස්සු මේ විදියයි, මේ රටේ මිනිස්සු මේ විදියයි කියන එක මම පිලි ගන්නේ නෑ. කොතනත් හොඳ අය ඉන්න කොතනත් නරක අය ඉන්නවා.

    ReplyDelete

  6. ඩිලාන් ,

    ජාතීන් අනුවත් පුද්ගලයාගෙන් පුද්ගලයාටත් මිනිස්සු වෙනස් වෙනවා.. ඉන්දියාව කිව්වම මහ විශාලයි.. පුදුම සම්මිශ්‍රණයක් තියෙනවා. ඩිලාන් දන්නවද මගේ ජීවිතේ ළඟම කෙනෙක් ඉන්නවා ප්‍රංශයේ ..එයා කතා කරන්නේ යාපනේ දෙමළ අය එක්ක විතරයි. උඩරට දෙමළ අයව ගණන් ගන්නේ නැහැ. " කුළ හීනයෝ " කියලා නිග්‍රහ කරනවා. ඉන්දියානු අයගෙන් කතා කරන්නේ ඒ ඒ කුළ වල අය එක්ක විතරයි.. ( පිටින් හිනා උනාට ඇතුළෙන් ගණන් ගන්නේ නැහැ )

    අපි මේ කොච්චර කිව්වත් ඩිලාන් පිටකොටුවේ ලැට් එක හෝදන මනුස්සයෙක්( සක්කිලි කියන්නේ ) එක්ක අපි ප්ලේන්ටියක් බොනවද එක මේසේ වාඩිවෙලා ? අපි හැමෝම බණ කතා කරනවා විතරයි සහජීවනය ගැන.. ඒත් අපි 100% ඔය කියන තරම් හොඳ මිනිස්සු නෙවේ..

    දැන් ඩිලාන් මෙහෙ පාර අතු ගෑවා නම් තත්වය කොහොම වේවිද ...? ඔයාගේ ගමේ අයම ඔයාව හලයි නේද නාඩියට ? ඒ වගේම තමයි ඩිලාන් ඔයා කියපු කමාන්ඩර් සහ නඩුකාරයත් .. ඔවුන් ඔබ සමග ඉන්නේ ඔබ විදේශිකයෙක් නිසා.. ඔබ ඉතාලි ජාතික කම්කරුවෙක් නම් ඔවුන් ඔබ සමග ඔය තරම් මිත්‍රශීලී වෙන්නේ නැහැ..

    ලෝකේ කොහෙත් සබැවීන්ම හොඳ මිනිස්සු ඉන්නවා..මම දැකලා තියෙනවා එවැනි අයව. ඒත් ඩිලාන් හිනා උන පමණින් , හලෝ මචන් කිව්ව පමණින් කව්රුත් හොඳ නැහැ...ඒවා කැරට් අල.. ලෙඩක් දුකක් හැදිලා මාස තුනක් එක තැන් වෙලා බලන්න ඕන ඔය මිනිස්සුන්ගේ සත්ව කරුණාවේ මහත ....හලෝ මචන් කතා එදාට නැහැ ඩිලාන් ...

    ReplyDelete
    Replies
    1. /ඔබ ඉතාලි ජාතික කම්කරුවෙක් නම් ඔවුන් ඔබ සමග ඔය තරම් මිත්‍රශීලී වෙන්නේ නැහැ../
      මේකට ජාතියක් බලපාන්නේ කොහොඅම්ද? කෝපි එකක් බොන්න, හිතවත්කමට කතා කරන්න මේ රට වල සමාජ තත්වය බලපාන්නේ නෑ මිනිස්සු ළඟ. සත්තු ළඟ නම් එහෙම වෙනවා ඇති. කෝපි එකක් බොන්නේ තමන්ගෙ හිතවත්කම පෙන්වන්න.
      මම නම් දන්නේ කරදරයක් වුනාම මේ රටවල මිනිස්සු වැඩියම අනෙකා ගැන හොයනවා මූනිඡ්චාවට නෙමෙයි හැබෑ උවමනාවෙන්. මගේ යාළුවෝ හින්දා තමයි අදටත් මම ජීවත් වෙන්නේ. මම අවුරුදු විසි ගාණක් අත්දැකීම් එක්ක මේක නම් කියන්නේ. මට එකම ලංකාවේ කෙනෙක්වත් උදව් කරලා නෑ. (උදව් අවශ්‍ය තැනක මම ඉඳලාත් නෑ) ඒත් මගේ යාළුවෝ මට උදව් අවශ්‍ය වුනා නොවුනා හැමදාම ඔවුන් මගේ ළඟ. හොඳම උදාහරණය පසුගිය කාලේ මගේ ඇක්සිඩන්ට් එක. අපි හොඳ මිනිස්සු වෙනවා නම් මේ සමාජය අනෙකාට ගරු කරනවා කියන අදහසේ මම නම් ඉන්නවා.

      Delete
    2. @ රංගි

      ඔබ කියූ පරිදි යුරෝපා ජන කොටස් සහ දකුණු ආසියානු ජන කොටස් අතර බොහෝ වෙනස් කම් ඇත. හැබැයි ඔබ කතා කරන්නේ සුන්දර සරළ මිතුරුකම් ගැන. එදිනෙදා ජීවිතයේදී සිනා සීම , විහිළුවක් කිරීම වැනි දේ ඔබ වරදවා වටහාගෙන. මා කතා කරන්නේ සත්‍ය මිත්‍රත්වය ගැන. ඉතින් අප දෙදෙනා මේ ගැන කතා කිරීමට යාම මගේ කාලය අපතේ යැවීමකි. ඔබට සුබ දවසක් රංගි ...

      Delete
  7. මේක ගැන අපි ඇති තරම් පෞද්ගලිකව කතා කරලා තියෙන හින්දා ඔයා මම ඉන්න අදහස දන්නවා. ඒ මොනව වුනත් අපිට අන්තිමට දැනෙන්නේ දුකක්. මම දන්නේ නෑ අපි මේ තරම් ජාතිවාදයෝ ආගම්වාදියෝ කුලවාදියෝ වුනේ කොහොමද කියලා.

    බහුතරයක් විදේශිකයෝ අපේ අයට වඩා මනුස්සකම් වලින් වැඩි කියලා නම් මට අනන්ත හිතෙනවා. පෞද්ගලිකව වැඩිම වපසරියක විදේශිකයෝ ආශ්‍රය කරන නිසා මට මේ දේ ගැන හිතෙන්නේ එහෙම. එකට කන්න බොන්න නිදාගන්න නොයන හින්දා සමහර දේවල් මට නොදැනෙනවා ඇති. ඒත් පාරේ යනකොට කොහේ හිටියත් ඇවිත් කතා කරන්න බැරි තරම් දුරක හිටියත් අත වනාගෙන යන්න හරි ඔය කියන විදේශිකයෝ හැමෝම උනන්දු වෙනවා. අනික පොඩි හරි උදව්වක් කලාම ඒක මහ ඉහලින් අගේ කරනවා.
    ඒකටත් එක්ක බලන්න එපැයෑ අපේ ලංකාවේ මිනිස්සු. වෙලාවකට මේක කොහෙන් සාධාරණිකරණය කරන්නද කියලා දන්නෙත් නෑ. ලාංකිකයෝ ගෑවිච්ච තැනකවත් ඉන්න අපි බය වෙන්නේ අපේ අයගේ තියෙන හොඳ ගතිගුණ හින්දම තමයි.
    මෙහේ සමාජේ ඔය දේවල් අඩු ඇයිද දන්නවද අපිට ලැබෙන සමාජය තත්ත්වය හැමදේම බොහෝම සාමාන්‍ය දේවල් කියලා මේ සමාජ ක්‍රමයම අපිට උගන්වන නිසා. ඔයාට විනිසුරුවරයෙක් එක්ක හෝ ඊට වඩා පිළිගැනීමක් තියෙන කෙනෙක් එක්ක කෝපි බොන්න පුළුවන් ඒ අය දන්නවා අපි හැමෝම මිනිස්සු කියන එක. අපි හැමෝම කරන්නේ රස්සාවක්. මේ සමාජයේ රැකියාවක් හින්දා දේවත්වයෙන් සලකන්නේ නෑ කවුරුත්. අපි මනුස්සකම් වැඩි දියුණුකරගත්තම අපිට තවත් අය සළකනවා වැඩියි. ඒත් අපේ රටෙන් එන බොහෝ අය මෙහේ ආවම ඒක දියුණුකරගන්නේ නෑ නැති කරගන්නවා මිසක්. ඒත් මේ අපේ සමාජේ අදටත් විස්වාසකරන්නේ ආසියාතික රටවල මිනිස්සු බොහෝ ගුණගරුකයි කියලා. විශෙසයෙන්ම බුද්ධාගමත් එක්ක පැවතෙන ලංකාව ඉන්දියාව වගේ රටවල මිනිසුන්. ඒත් ඒක තව දුරටත් හීනයක් විතරයි. හොඳ වෙලාවට මේක පිට සමාජයට පේන්නේ නෑ මොකද මේ කියන ප්‍රජාව මේ ලොකුකම්, හා ඔක්කොම දේවල් කරගන්නේ තමන්ගේ ප්‍රජාව අස්සේ විතරක් වීම නිසා. කොටින්ම මට වුනත් මේ දැණ් තමයි මේ තත්වය තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. @ රංගි

      මේ ඔබ මීට කළින් වෙනත් තැනක සඳහන් කල දෙයක්...

      _______________________________________________________

      Il mondo di una povera pazzaMarch 17, 2012 at 7:26 PM

      මෙහෙත් ඒ සෙතේමයි ඔබා. පුදුම කරදරයක් තියෙන්නේ. බැරි වෙලා හරි හෝදන්න එපා කිවෝත් උන් වින්ඩ්ස්ක්‍රීන් එකට සබන් දාල යනවා... උස්සල මරන්න හිතෙන්නේ ඒ වෙලාවට.


      ObserverMarch 18, 2012 at 9:57 AM
      @ Il mondo,
      කොහොමද ලංකාවෙ ට්‍රැෆික් ලයිට් ගාව හිඟන්නො සීන් එක ?



      Il mondo di una povera pazzaMarch 20, 2012 at 3:58 AM
      ඔව්. මම පුදුම විදියට භයයි. ඒ මිනිස්සු කලුම කලු පාටට ඇවිත් කතා කරන විදියට මම හීනෙන් හිටන් භය වෙනවා ලංකාවට ගියාම. මම ඉතින් ඉස්සරහා සීට් එකේවත් යන්නේ නෑ භය වැඩිකමට.

      Delete
    2. what a poor boy... ha ha----
      සහන් මේකේ කොහේ හරි ඩිස්ක්‍රිමිනේශන් එකක් තියෙනවද? මගේ සීමාවට ඕනේ කෙනෙක් ඇවිත් කරදරකරාම උස්සාලා නෙමෙයි ඊටා වඩා මරන්න හිතෙන එකත් සාමාන්යයි. මම මනුස්සයෙක්. ඒත් ඒකෙන් මම සතෙක්වත් ඒ මනුස්සයා මරනවා කියලාවත් කියන්නේ නෑ.

      Delete
    3. \\\\\\මගේ සීමාවට ඕනේ කෙනෙක් ඇවිත් කරදරකරාම උස්සාලා නෙමෙයි ඊටා වඩා මරන්න හිතෙන එකත් සාමාන්යයි. \\\

      /////මම මනුස්සයෙක්. /////

      \\\\\ඒත් ඒකෙන් මම සතෙක්වත් ඒ මනුස්සයා මරනවා කියලාවත් කියන්නේ නෑ. \\\\\

      හි හි ... නියම විහිලුව .. :P

      Delete
    4. තව ඇදගෙන යන්න ඕනෙද සහන්?
      මේ නෙට් එකේ බොල් චරිත වලට වඩා ඇත්ත කතාවක් මට තියෙනවා. මාව මේ නෙට් එකේ ඉන්න මිනිස්සු දන්නවා. මම කරන කියන දේවල් එක්ක මම කවුද කියන එකත් ඒ හැමෝම දන්නවා. ඔබ හයිලයිට් කලාට වැඩක් නෑ. මට බෝම්බ ගහන්නවත් ගෝඨාට කියලාවත් යමක් කරන්න කියලා මාව බය කරන්නවත් ඔබට බෑ අනිත් අයගෙ අබ්ලොග් වලදි කල පරිදි.

      Delete
    5. \\\\මට බෝම්බ ගහන්නවත් ගෝඨාට කියලාවත් යමක් කරන්න කියලා මාව බය කරන්නවත් ඔබට බෑ අනිත් අයගෙ අබ්ලොග් වලදි කල පරිදි. \\\

      බලන්න අර ජෙයපාලන් අන්කල්ට උනු දේ.. ලොක්කා වගේ ආව..බල්ලා වගේ කූඩු කරා.. :P

      \\\තව ඇදගෙන යන්න ඕනෙද සහන්? \\\

      ඉතින් අප දෙදෙනා මේ ගැන කතා කිරීමට යාම මගේ කාලය අපතේ යැවීමකි. ඔබට සුබ දවසක් රංගි ...

      \\\\මාව මේ නෙට් එකේ ඉන්න මිනිස්සු දන්නවා. \\\

      මාව නම් කිසි කෙනෙක් දන්නේ නැහැ..මට මන් කව්ද කියලා ලෝකෙට අඬ බෙර ගහන්න ඕනේ නැහැ..

      \\\\මම කරන කියන දේවල් එක්ක මම කවුද කියන එකත් ඒ හැමෝම දන්නවා. \\\\

      ඔව් ඔය මම උපුටා දක්වලා තියෙන්නේ :P

      රංගි බබෝ කේන්ති ගන්න එපා අනේ..කෝ බලන්න මූණ ඩිංගක් ... කෝ බලන්න ... :)

      Delete
    6. කවුද අනේ ඔයාගේ කාලේ නාස්ති කරගන්න කීවේ? පව් නේ මෙයා ඔයා? පව් චූටි බබා ගිහින් දොයි බබා වෙන්න.
      ඔහේට මම එක්ක තියෙන ඇරියස් එක මොකක්ද කියලා මට කලින්වත් තේරුනෙ නෑ. කොටින්ම තේරුම් ගන්න උවමනාවකුත් නෑ. එහෙම මොනවා හරි තියෙනවා කෙලින්ම කියන්න කියලා මම ඔබ කලිනුත් කියලා තියෙනවා. මේ චූටී බබා පාට් නොදමා? දැන් ජෙයපාලන් වගේ මාවත් ඇරෙස්ට් කරවන්නද ඔයාට ඕනේ? හික්ස්... ඔයා පවු.....
      ;)

      Delete
    7. \\\\\දැන් ජෙයපාලන් වගේ මාවත් ඇරෙස්ට් කරවන්නද ඔයාට ඕනේ? \\\\

      ජෙයපාලන්ව ඇරෙස්ට් කිරීමට මාව සම්බන්ධ උනේ කොහොමද ? :P

      ( නමුත් ඒක උනා නේද රංගි ..? ඔබ හොඳින් බලන්න මීළඟ වසර කීපය තුළදී වෙන දේ.. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අපහාස වන අයුරින් වෙනත් රටවලදී හැසිරෙන සියලු දෙනාව අත්අඩංගුවට ගනීවි රටට ඇතුළු වූ මොහොතේම. ඒවට මාව නම් පටලන්න එපා..)

      ඔබ ලංකාවට ආව දාට අපි හම්බෙමු.. නිදහසේ කෝපි කෝප්පයක් බොමු අපි ආගිය තොරතුරු කතා කරමින්... කැමතිද ...? ( මේක මේ සුහද ආරාධනයක් හරිය )

      Delete
  8. හැම ජාතීන්ගේම දුර්වලකම් තියනව අපි එවා හදාගෙන ඉදිරියට යන්න උත්සහ කරන්න ඕන. බැන ‍ගෙන,අනිකාව අමාරුවෙ දාල දුර්වලකම් සගවන එක නෙවේ. අනික ජාතීමාමකත්වය තියෙන්න ඕන හිතේ අත පයේ නෙවේ.

    ReplyDelete
  9. මෙන්න සහතික ඇත්ත... අපි අපේ කෝණයෙන් අනුන්ව බලන එක තරම් වැරද්දක් නෑ.. අනිකගේ සපත්තුවට බැහැලා බැලුවානම් ගොඩාක් ප්‍රශ්ණ විසදෙනවා.. එක ප්‍රශ්ණයක් ඇර මම අනිත් හැම දෙයක්ම දිහා බලන්නේ අනිකගේ සපත්තුවට බැහැලා....

    ReplyDelete
    Replies
    1. //අනිකගේ සපත්තුවට බැහැලා....//

      ඕක "සාක්කුවට බැහැල" කියල හරිගස්සපන්

      Delete
  10. මම එකපාර දැක්කෙ මගෙ නමත් ගවල මූ පෝස්ට් එකක් දල වගේ :)

    ඉතාලි කාරයො සමස්ථයක් විදියට බොහොම මිත්‍රශීලී අනුන් ගැන හිතන ජාතියක්. ඒක ජර්මනියෙදි එංගලන්තෙදි වෙනස් උනාට ගොඩක් යුරෝපෙ මිනිස්සු එහෙම තමයි.

    ඒත් අපි ඉන්දියාවට, බංගලින්ට පිල්ලොන්ට බනින්නෙ උන් අපේ වෘත්තීය අවස්ථාව අපිට වඩා අඩුවට ගන්න බලන් ඉන්න හේතුව නිසා. ඇත්ත ඒකයි. එහෙම නැතුව පක්කො නන්නෙ නැති එකවත්, ඉන්දියන් කාරයො දත් මදින්නෙ නෑ කියලවත්, පිල්ලො ගඳ කෑම කනව කියලවත් රට ඉන්න ලංකාවෙ මිනිස්සුන්ට වෙන හෙනයක් ඇතෙයි කියල මම හිතන්නෙ නෑ.

    හැබැයි කොහොම උනත් අපේ රටේ බහුතරය තමන්ගෙ රෙදි තියල අනුන්ගෙ කුණු හෝදන්න දස්ස නිසා ඒ පැත්තෙනුත් මේ වැඩේට පොඩි තල්ලුවක් ලැබෙනව.

    ReplyDelete
  11. අදමයි මේ පැත්තට ආවේ. මටනම් හිතෙන්නේ හැමෝටම ඔය කියන නරක ගතිගුණ නැහැ කියලා. හැබැයි හැමෝටම නැත්තෙත් නෑ. එක රටක විතරක් තියෙන අය ඉන්නෙත් නෑ. ඕන රටක ඉන්න පුලුවන්. හරියට ආශ්‍රය කරන එක තමයි හොඳ.

    ReplyDelete
  12. මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා. අවුරුදු දෙකක් විතර මගේ රූම් මේට් හිටියා ලංකාවේ දෙමළ. දැනට අවුරුදු පහ හයකට කලින් අද වගේ ස්මාට් ෆෝන් ජනප්‍රිය නෑ. මගේ ෆෝන් එකේ සල්ලි ඉවර උනාම මම උගේ නොකියා ෆෝන් එකෙන් කෝල්ස් ගන්නවා.ඒකේ අර පාට දෙකේ ස්ක්‍රීන් සේවර් එකට ඌ දාලා තියෙන්නේ ඊළාම් මැප් එක. අපි දෙන්නා සල්ලි දාලා ගත්ත PC එකේ ඌ ටැමිල් නෙට් යනවා මම ඩිෆෙන්ස්.එල්කේ යනවා.

    තමිල් සෙල්වම් මරපු දවසේ උදේ මම නිවුස් එක දැක්ක ගමන් අරූ හොඳට නිදි. මට සතුට වැඩිකමට ඌව ඇහැරෝලා කෑගැහුවා

    "අඩෝ මෙන්න තොපේ ලොක්කෙක් ඉවරයි... මහ එකාටත් හෙට අනිද්දම දෙනවා ඔන්න බලපන්..." කියලා.

    ටික වෙලාවකින් සිහිය එලොගෙන ඌ නිවුස් එක කියවලා හොඳටම ඇඬුවා.මට මොනවා කරන්නද හිතාගන්න බැරිවුනා.

    එදා රෑ මම ඌට මගේ ගානේ ඩිනර් අරන් දුන්නා. නිල වශයෙන් කිව්වේ නැතත් තමිල් සෙල්වම් මැරුව සතුටට මගෙන් පාටියක් වගේ කියලා ඕනේනං ඌට ඒක ගන්නත් තිබුණා. ඒත් ඌ අවුලක් නැතුව කෑවා. අදටත් මගේ හොඳ යාලුවෙක්.

    මම දැකලා තියෙන දෙයක් තමයි ජාතීවාදී ගොඩක් අය වෙන ජාතීවල යාළුවෝ මෙහෙම ළඟින් ආශ්‍රය කරලා නෑ.එහෙම කලානම් අර අදහස් දියවෙලා යනවා.

    ReplyDelete
  13. මට නම් මේ අයගෙ කියන්න කිසිම වැරැද්දක් තාම දැනිලා නෑ...කාලයක් මගේ නවාතැනට අල්ලපු එකේ හිටියෙ බංගලිදේශ ජාතිකයො ටිකක්...ඒ අය පුදුමාකාර විදියට හොදයි...ඒ අතර පකිස්ථානු අය වගේම ඉන්දියානුවොත් හිටියා...අපි අතර කිසිම අමනාපකමක් ඇති වෙලා නැ...ඔපීසියෙ අපේ කාකාස පකිස්ථානුජාතික ජබීර් උනත් හරිම අහිංසක හිත හොද තරුණයෙක්...

    ReplyDelete
  14. හුගාක් වෙලාවට අපි මිනිස්සුන්ගෙ තියෙන හින මානෙ නිසා අනුන් පහත් කරල කතා කරන්නෙ

    ReplyDelete
  15. ලාංකික අප අතර සමානාත්මතාවය නැත. පන්ති බේද වැඩියි. ඉතාලියේ සමානාත්මතාවය ගැණ අසා සතුටු වුනා.

    ඒ කෙසේ වෙතත් මා ඉතාලියේ දී දුටු දෙයක් තමයි බංගලියෝ නගරයේ හැම තිප්පොලකම පොඩි පොඩි යුරෝ එකේ දෙකේ ප්ලාස්ටික් කෑලි විකුණාගන්ණ හදමින් ඉන්න බව. මං එකෙක් දෙන්නෙක් එක්ක කතා කළා. උන් විවිධ වැඩ සඳහා ආපු දැන් අතරමංවෙලා වගේ ඉන්න අය.

    පොඩි කඩ කැල්ලක් කරන බංගියෙක් මා ඇසු විට කීවේ ලංකාවේ අය ඉංගිරිසි සහ ඉතාලි භාෂා දන්නා නිසා හෝටල්වල වගේ හොඳ ජොබ් කරන බවයි.

    ReplyDelete
  16. ඉතාමත් හොඳ ලිපියක් සහ කමෙන්ටු ටිකක්. ‍බොහොම ස්තුතියි ඩිලාන්

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete